92. සැවැත් නුවර දී …………………
එකත්පස්ව වාඩිවුණ ආයුෂ්මත් රාහුලයන් භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.
“ස්වාමීනි, මොන විදිහට අවබෝධ කරගන්නා විට ද, මොන විදිහට දකිනා විට ද මේ විඤ්ඤාණය සහිත වූ කය පිළිබඳවත්, බාහිර සියලු නිමිති පිළිබඳවත් ‘මම ය, මාගේ ය’ යන දෘෂ්ටියෙහි බැස තිබෙන මානය බැහැර වුණ මනසක් ඇතිවන්නේ? හැම මාන කොටසක්ම ඉක්මවා ගිහින් ශාන්ත බවට පත් වෙලා මැනැවින් නිදහස් වෙන්නෙ කොහොමද?”
“පින්වත් රාහුල, යම්කිසි රූපයක් ඇද්ද, …. (පෙ) …. දුර තිබෙන රූපයක් වෙන්න පුළුවනි, ළඟ තිබෙන රූපයක් වෙන්න පුළුවනි, ඒ සෑම රූපයක්ම ‘මගේ නොවේ, මම නොවෙමි, මගේ ආත්මය නොවේ’ යන ඔය කරුණ ඒ ආකාරයෙන්ම දියුණු කළ ප්‍රඥාවෙන් දැකලා කිසිවකට නොබැඳී මැනැවින් නිදහස් වෙලා යනවා. යම්කිසි වේදනාවක් ඇද්ද …. (පෙ) …. යම්කිසි සඤ්ඤාවක් ඇද්ද …. (පෙ) …. යම්කිසි සංස්කාර ඇද්ද, …. (පෙ) …. අතීත, අනාගත, වර්තමාන වූ යම්කිසි විඤ්ඤාණයක් ඇද්ද, ආධ්‍යාත්ම (තමා යැයි සළකන) විඤ්ඤාණයක් වෙන්න පුළුවනි, බාහිර විඤ්ඤාණයක් වෙන්න පුළුවනි, ගොරෝසු විඤ්ඤාණයක් වෙන්න පුළුවනි, සියුම් විඤ්ඤාණයක් වෙන්න පුළුවනි, හීන විඤ්ඤාණයක් වෙන්න පුළුවනි, උසස් විඤ්ඤාණයක් වෙන්න පුළුවනි, දුර තිබෙන විඤ්ඤාණයක් වෙන්න පුළුවනි, ළඟ තිබෙන විඤ්ඤාණයක් වෙන්න පුළුවනි, ඒ සෑම විඤ්ඤාණයක්ම ‘මගේ නොවේ, මම නොවෙමි, මගේ ආත්මය නොවේ’ යන ඔය කරුණ ඒ ආකාරයෙන්ම දියුණු කළ ප්‍රඥාවෙන් දැකලා කිසිවකට නොබැඳී මැනැවින් නිදහස් වෙලා යනවා.
පින්වත් රාහුල, ඔය විදිහට අවබෝධ කරගන්නා විට තමයි, ඔය විදිහට දකිනා විට තමයි මේ විඤ්ඤාණය සහිත වූ කය පිළිබඳවත්, බාහිර සියලු නිමිති පිළිබඳවත් ‘මම ය, මාගේ ය’ යන දෘෂ්ටියෙහි බැස තිබෙන මානය බැහැර වුණ මනසක් ඇතිවන්නේ. හැම මාන කොටසක්ම ඉක්මවා ගිහින් ශාන්ත බවට පත්වෙලා මැනැවින් නිදහස් වෙන්නේ.
දුතිය රාහුල සූත්‍රය නිමා විය.
හතරවෙනි ථේර වර්ගය අවසන් විය.
එහි පිළිවෙල උද්දානයයි :
ආනන්ද සූත්‍රය, තිස්ස සූත්‍රය, යමක සූත්‍රය, අනුරාධ සූත්‍රය, වක්කලී සූත්‍රය, අස්සජී සූත්‍රය, ඛේමක සූත්‍රය, ඡන්න සූත්‍රය, රාහුල සූත්‍ර දෙක යන මෙයින් මේ වර්ගය සමන්විතයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-2-4-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M