සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

1.2.1. සම්බෝධ සුත්තං

1.2.1. සම්බුද්ධත්වය ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ….

පින්වත් මහණෙනි, සම්බුද්ධත්වයට කලින් ම, සම්බුද්ධත්වයට පත් නොවී, (මේ ජීවිතයේ දී ම) බෝධිසත්වයන් වහන්සේ හැටියට සිටිය දී ම මා හට මේ අදහස ඇති වුණා. ඇසෙහි තිබෙන ආශ්වාදය කුමක්ද? ආදීනවය කුමක්ද? නිදහස් වීම කුමක්ද? කනෙහි තිබෙන ….(පෙ)…. නාසයෙහි තිබෙන ….(පෙ)…. දිවෙහි තිබෙන ….(පෙ)…. කයෙහි තිබෙන ….(පෙ)…. මනසෙහි තිබෙන ආශ්වාදය කුමක්ද? ආදීනවය කුමක්ද? නිදහස් වීම කුමක්ද? කියලා.

පින්වත් මහණෙනි, එතකොට මට මේ කරුණ අවබෝධ වුණා. ඇස හේතු කරගෙන යම් සැපයක් සොම්නසක් උපදිනවා නම්, මේක තමයි ඇසෙහි ඇති ආශ්වාදය. යම් ඇසක් අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වන ධර්මතාවයට අයිති නම් මේක තමයි ඇසෙහි ඇති ආදීනවය. ඇස කෙරෙහි ඇති ඡන්දරාගයේ යම් දුරු කිරීමක් ඇත්ද, ඡන්දරාගය ප්‍රහාණය වීමක් ඇත්ද, මේක තමයි ඇසෙන් නිදහස් වීම. කන හේතු කරගෙන යම් ….(පෙ)…. නාසය හේතු කරගෙන යම් ….(පෙ)…. දිව හේතු කරගෙන යම් සැපයක් සොම්නසක් උපදිනවා නම්, මේක තමයි දිවෙහි ඇති ආශ්වාදය. යම් දිවක් අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වන ධර්මතාවයට අයිති නම් මේක තමයි දිවෙහි ඇති ආදීනවය. දිව කෙරෙහි ඇති ඡන්දරාගයේ යම් දුරු කිරීමක් ඇත්ද, ඡන්දරාගය ප්‍රහාණය වීමක් ඇත්ද, මේක තමයි දිවෙන් නිදහස් වීම. කය හේතු කරගෙන යම් ….(පෙ)…. මනස හේතු කරගෙන යම් සැපයක් සොම්නසක් උපදිනවා නම්, මේක තමයි මනසෙහි ඇති ආශ්වාදය. යම් මනසක් අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වන ධර්මතාවයට අයිති නම් මේක තමයි මනසෙහි ඇති ආදීනවය. මනස කෙරෙහි ඇති ඡන්දරාගයේ යම් දුරු කිරීමක් ඇත්ද, ඡන්දරාගය ප්‍රහාණය වීමක් ඇත්ද, මේක තමයි මනසෙන් නිදහස් වීම.

පින්වත් මහණෙනි, මා යම්තාක් කලක් මේ ආධ්‍යාත්මික ආයතන හය පිළිබඳව ඔය ආකාරයට ආශ්වාදය ආශ්වාදය වශයෙනුත්, ආදීනවය ආදීනවය වශයෙනුත්, නිස්සරණය නිස්සරණය වශයෙනුත් ඒ වූ ස්වභාවයෙන් ම අවබෝධ කළේ නැත් ද, පින්වත් මහණෙනි, ඒ තාක්කල් ම මා දෙවියන් සහිත වූ, මරුන් සහිත වූ, බඹුන් සහිත වූ, ශ්‍රමණ බමුණන් සහිත වූ, මේ දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයෙහි අනුත්තර වූ සම්මා සම්බුද්ධත්වය අවබෝධ කළ වගට ප්‍රතිඥා දුන්නේ නෑ.

පින්වත් මහණෙනි, මා යම් දිනෙක මේ ආධ්‍යාත්මික ආයතන හය පිළිබඳව ඔය ආකාරයට ආශ්වාදය ආශ්වාදය වශයෙනුත්, ආදීනවය ආදීනවය වශයෙනුත්, නිස්සරණය නිස්සරණය වශයෙනුත් ඒ වූ ස්වභාවයෙන් ම අවබෝධ කරගත්තා ද, පින්වත් මහණෙනි, එතකොට යි මා දෙවියන් සහිත වූ, මරුන් සහිත වූ, බඹුන් සහිත වූ, ශ්‍රමණ බමුණන් සහිත වූ, මේ දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයෙහි අනුත්තර වූ සම්මා සම්බුද්ධත්වය අවබෝධ කළ වගට ප්‍රතිඥා දුන්නේ. මා තුළ ඥානදර්ශනය පහළ වුණා. මගේ චිත්තවිමුක්තිය නො වෙනස් වන දෙයක්. මේක මාගේ අවසාන උපතයි. ආයෙත් නම් දැන් පුනර්භවයක් නෑ.

සාදු! සාදු!! සාදු!!!

සම්බෝධ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-2-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M