සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

4.1.6. පරමස්සාස සුත්තං

4.1.6. ඉහළ ම අස්වැසිල්ල ගැන වදාළ දෙසුම

“ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයෙනි, ඉහළ ම අස්වැසිල්ලට පත්වුණා, ඉහළ ම අස්වැසිල්ලට පත් වුණා කියලා කියනවා. ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයෙනි, ඉහළ ම අස්වැසිල්ලට පත් වන්නේ කුමන කරුණු මතද?” “ආයුෂ්මත, යම් දවසක භික්ෂුව ස්පර්ශ ආයතන හයේ හටගැනීමත්, නැසී යාමත්, ආශ්වාදයත්, ආදීනවයත්, නිස්සරණයත් ඒ වූ ආකාරයෙන් ම අවබෝධ කරලා උපාදාන රහිතව කෙලෙසුන්ගෙන් නිදහස් වුණා නම්, ආයුෂ්මත, මෙපමණකින් ම ඉහළ ම අස්වැසිල්ලට පත් වුණා වෙනවා.” “ප්‍රිය ආයුෂ්මතුනි, ඉහළ ම අස්වැසිල්ලට පත් වීම සාක්‍ෂාත් කිරීම පිණිස මාර්ගයක් තියෙනවාද? වැඩපිළිවෙළක් තියෙනවාද?” “ආයුෂ්මත, ඉහළ ම අස්වැසිල්ලට පත් වීම සාක්‍ෂාත් කිරීම පිණිස මාර්ගයක් තියෙනවා. වැඩපිළිවෙළක් තියෙනවා.” “ප්‍රිය ආයුෂ්මතුනි, ඉහළ ම අස්වැසිල්ලට පත් වීම සාක්‍ෂාත් කිරීම පිණිස තියෙන මාර්ගය කුමක්ද? වැඩපිළිවෙළ කුමක්ද?” “ආයුෂ්මත, මේ ඉහළ ම අස්වැසිල්ලට පත් වීම සාක්‍ෂාත් කිරීම පිණිස තියෙන්නේ ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ම යි. ඒ කියන්නේ; සම්මා දිට්ඨි ….(පෙ)…. සම්මා සමාධි. ආයුෂ්මත, මේ ඉහළ ම අස්වැසිල්ලට පත් වීම සාක්‍ෂාත් කිරීම පිණිස පවතින මාර්ගය ඕක තමයි. වැඩපිළිවෙළත් ඕක තමයි.” “ප්‍රිය ආයුෂ්මතුනි, මේ ඉහළ ම අස්වැසිල්ලට පත් වීම සාක්‍ෂාත් කිරීම පිණිස පවතින්නා වූ මාර්ගය නම් ඉතා සුන්දරයි. ප්‍රතිපදාව නම් ඉතා සුන්දරයි. ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයෙනි, මේ ගැන අප්‍රමාදී වීම ම යි වටින්නේ.”

සාදු ! සාදු !! සාදු !!!

පරමස්සාස සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_4-1-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M