සංයුත්ත නිකාය

මහා වග්ගෝ

1.14.41.-44. ආගන්තුක සූත්‍රයෝ

1.14.41.-44. ආගන්තුක ගෘහය ගැන වදාළ දෙසුම්

මහණෙනි, යම් සේ අම්බලමක් ඇද්ද, පෙරදිගින් ද පැමිණ එහි වාසය කරති. බටහිර දෙසින් ද පැමිණ එහි වාසය කරති. උතුරු දෙසින් ද පැමිණ එහි වාසය කරති. දකුණු දෙසින් ද පැමිණ එහි වාසය කරති. ක්ෂත්‍රියයෝ ත් ඇවිත් වාසය කරති. බ්‍රාහ්මණයෝ ත් ඇවිත් වාසය කරති. වෛශ්‍යයෝ ත් ඇවිත් වාසය කරති. ශුද්‍රයෝ ත් ඇවිත් වාසය කරති.

එසෙයින් ම මහණෙනි, භික්ෂුවක් ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්නේ, ආර්ය අෂ්ටාංගික මාර්ගය බහුල ව ප්‍රගුණ කරන්නේ, යම් ධර්මයක් විශිෂ්ට ඥානයෙන් පිරිසිඳ දැක්ක යුතු ද, ඒ ධර්මයන් විශිෂ්ට ඥානයෙන් පිරිසිඳ දකියි. යම් ධර්මයක් විශිෂ්ට ඥානයෙන් ප්‍රහාණය කළ යුතු ද, ඒ ධර්මයන් විශිෂ්ට ඥානයෙන් ප්‍රහාණය කරයි. යම් ධර්මයක් විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කළ යුතු ද, ඒ ධර්මයන් විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කරයි. යම් ධර්මයක් විශිෂ්ට ඥානයෙන් දියුණු කළ යුතු ද, ඒ ධර්මයන් විශිෂ්ට ඥානයෙන් දියුණු කරයි.

මහණෙනි, විශිෂ්ට ඥානයෙන් පිරිසිද දැක්ක යුතු ධර්මයන් මොනවා ද? එයට කිව යුත්තේ පංච උපාදානස්කන්ධය කියා ය. ඒ කවර පසක් ද යත්, රූප උපාදානස්කන්ධය ය ….(පෙ)…. විඤ්ඤාණ උපාදානස්කන්ධය ය. මහණෙනි, මේ වනාහී විශිෂ්ට ඥානයෙන් පිරිසිඳ දත යුතු ධර්මයන් ය.

මහණෙනි, විශිෂ්ට ඥානයෙන් ප්‍රහාණය කළ යුතු ධර්මයන් මොනවා ද? එනම් අවිද්‍යාව ත්, භව තණ්හාව ත් ය. මහණෙනි, මේ වනාහී විශිෂ්ට ඥානයෙන් ප්‍රහාණය කළ යුතු ධර්මයන් ය.

මහණෙනි, විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කළ යුතු ධර්මයන් මොනවා ද? එනම් විද්‍යාව ත්, විමුක්තිය ත් ය. මහණෙනි, මේ වනාහී විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කළ යුතු ධර්මයන් ය.

මහණෙනි, විශිෂ්ට ඥානයෙන් දියුණු කළ යුතු ධර්මයන් මොනවා ද? එනම් සමථය ත්, විදර්ශනාව ත් ය. මහණෙනි, මේ වනාහී විශිෂ්ට ඥානයෙන් දියුණු කළ යුතු ධර්මයන් ය.

මහණෙනි, භික්ෂුවක් කෙසේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩද්දී ද, කෙසේ ආර්ය අෂ්ටාංගික මාර්ගය බහුල කරද්දී ද, යම් ධර්මයක් විශිෂ්ට ඥානයෙන් පිරිසිඳ දත යුතු නම්, ඒ ධර්මයන් විශිෂ්ට ඥානයෙන් පිරිසිඳ දැනගන්නේ? ….(පෙ)…. යම් ධර්මයක් විශිෂ්ට ඥානයෙන් දියුණු කළ යුතු නම්, ඒ ධර්මයන් විශිෂ්ට ඥානයෙන් දියුණු කරන්නේ?

මහණෙනි, මෙහිලා භික්ෂුව කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව, නිවැරදි දෘෂ්ටිය දියුණු කරයි. ….(පෙ)…. කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව, නිවැරදි චිත්තේකාග්‍රතාවය දියුණු කරයි.

මහණෙනි, භික්ෂුවක් මෙසේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩද්දී ය, මෙසේ ආර්ය අෂ්ටාංගික මාර්ගය බහුල කරද්දී ය, යම් ධර්මයක් විශිෂ්ට ඥානයෙන් පිරිසිඳ දත යුතු නම්, ඒ ධර්මයන් විශිෂ්ට ඥානයෙන් පිරිසිඳ දැනගන්නේ. යම් ධර්මයක් විශිෂ්ට ඥානයෙන් ප්‍රහාණය කළ යුතු නම්, ඒ ධර්මයන් විශිෂ්ට ඥානයෙන් ප්‍රහාණය කරන්නේ. යම් ධර්මයක් විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කළ යුතු නම්, ඒ ධර්මයන් විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කරන්නේ. යම් ධර්මයක් විශිෂ්ට ඥානයෙන් දියුණු කළ යුතු නම්, ඒ ධර්මයන් දියුණු කරන්නේ.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_1-14-41/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M