සංයුත්ත නිකාය

මහා වග්ගෝ

10.1.9. අසුභ සුත්තං

10.1.9. අසුභ භාවනාව මුල්කොට වදාළ දෙසුම

එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විශාලාවෙහි මහා වනයෙහි කූටාගාර ශාලාවෙහි වැඩවෙසෙන සේක. එසමයෙහි වනාහී භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට නොයෙක් අයුරින් අසුභ කථාව කථා කරන සේක. අසුභ අරමුණෙහි වටිනාකම කියන සේක. අසුභ භාවනාවෙහි ගුණ වර්ණනා කරන සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක.

“මහණෙනි, මම අඩමසක් තනිව ම වාසය කරන්නට කැමති වෙමි. පිණ්ඩපාතය රැගෙන එන කෙනා හැර අන් කෙනෙකු විසින් නොඑළඹිය යුත්තෙම් වෙමි.”

“එසේ ය, ස්වාමීනී” යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී පිණ්ඩපාතය රැගෙන එන එක් භික්ෂුවක හැර අන් කිසිවෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත නොඑළඹෙයි.

එකල්හී ඒ භික්ෂූහු ‘භාග්‍යවතුන් වහන්සේ නොයෙක් අයුරින් අසුභ කථාව කථා කරන සේක. අසුභ අරමුණෙහි වටිනාකම කියන සේක. අසුභ භාවනාවෙහි ගුණ වර්ණනා කරන සේක’ යි අනේකප්‍රකාරයෙන් ගැවසී ගත් අසුභ භාවනාවෙහි දැඩි ව යෙදී වාසය කළාහු වෙති. ඔවුහු මේ කය පිළිබඳ ව පීඩිත ව, ලැජ්ජාවට පත් ව, පිළිකුල් උපදවමින් දිවි නසා ගැනීමට සමත් අවි සොයති. එක් දිනකදී භික්ෂූහු දස දෙනෙකුත්, ආයුධයක් තමා වෙත එළවා ගත්හ. එක් දිනකදී භික්ෂූහු විසි දෙනෙකුත්, ආයුධයක් තමා වෙත එළවා ගත්හ. එක් දිනකදී භික්ෂූහු තිස් දෙනෙකුත්, ආයුධයක් තමා වෙත එළවා ගත්හ.

එකල්හී භාග්‍යවතුන් වහන්සේ ඒ අඩමස ඇවෑමෙන් භාවනාවෙන් නැගිට ආයුෂ්මත් ආනන්දයන් ඇමතූ සේක.

“කිම? ආනන්දයෙනි, භික්ෂු සංඝයා තුනී වී ගිය සෙයක් පෙනෙයි.”

“ස්වාමීනී, එය වනාහී එසේ ම ය. භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට නොයෙක් අයුරින් අසුභ කථාව කථා කරන සේක. අසුභ අරමුණෙහි වටිනාකම කියන සේක. අසුභ භාවනාවෙහි ගුණ වර්ණනා කරන සේක. ස්වාමීනී, ඒ භික්ෂූහු ද ‘භාග්‍යවතුන් වහන්සේ නොයෙක් අයුරින් අසුභ කථාව කථා කරන සේක. අසුභ අරමුණෙහි වටිනාකම කියන සේක. අසුභ භාවනාවෙහි ගුණ වර්ණනා කරන සේක’ යි අනේකප්‍රකාරයෙන් ගැවසී ගත් අසුභ භාවනාවෙහි දැඩි ව යෙදී වාසය කළාහු වෙති. ඔවුහු මේ කය පිළිබඳ ව පීඩිත ව, ලැජ්ජාවට පත් ව, පිළිකුල් උපදවමින් දිවි නසා ගැනීමට සමත් අවි සොයති. එක් දිනකදී භික්ෂූහු දස දෙනෙකුත්, ආයුධයක් තමා වෙත එළවා ගත්හ. එක් දිනකදී භික්ෂූහු විසි දෙනෙකුත්, ආයුධයක් තමා වෙත එළවා ගත්හ. එක් දිනකදී භික්ෂූහු තිස් දෙනෙකුත්, ආයුධයක් තමා වෙත එළවා ගත්හ.

ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ මේ භික්ෂු සංඝයා යම් අයුරකින් අරහත්වයෙහි පිහිටන්නේ නම්, එබඳු වූ ධර්ම ක්‍රමයක් වදාරණ සේක් නම් මැනැවි.”

“එසේ වී නම් ආනන්දයෙනි, විශාලාව ඇසුරු කොට යම්තාක් භික්ෂූහු වෙසෙත් ද, ඒ සියල්ලන් උපස්ථාන ශාලාවට රැස් කරව.”

“එසේය, ස්වාමීනී” යි ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී විශාලාව ඇසුරු කොට යම්තාක් භික්ෂූහු වෙසෙත් ද, ඒ සියළු භික්ෂූන් උපස්ථාන ශාලාවට රැස් කොට භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ.

“ස්වාමීනී, භික්ෂු සංඝයා රැස් වූයේ ය. ස්වාමීනී, යමකට දැන් කාලය නම්, එය භාග්‍යවතුන් වහන්සේ දන්නා සේක.”

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ උපස්ථාන ශාලාවට වැඩම කළ සේක. වැඩම කොට පණවන ලද අසුනෙහි වැඩහුන් සේක. වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක.

“මහණෙනි, මේ ආනාපානසති සමාධිය ත් වඩන ලද්දේ, බහුල ව ප්‍රගුණ කරන ලද්දේ ශාන්ත ත් වෙයි. ප්‍රණීත ත් වෙයි. ප්‍රකෘතියෙන් ම මිහිරි වෙයි. සැප විහරණය ත් වෙයි. උපනුපන් පාපී අකුසල් දහමුත් සැණෙකින් අතුරුදහන් කරවයි. සංසිඳුවයි. මහණෙනි, එය මෙබඳු දෙයකි. ග්‍රීෂ්ම කාලයෙහි අවසන් මාසයෙහි උඩට නැගුණු දුහුවිලි දැලි ඇද්ද, එය අකලට ඇද හැලෙන මහා වර්ෂාවකින් සැණෙකින් අතුරුදහන් කරවයි ද, සංසිඳුවයි ද, එසෙයින් ම මහණෙනි, ආනාපානසති සමාධිය වඩන ලද්දේ, බහුල ව ප්‍රගුණ කරන ලද්දේ ශාන්ත ත් වෙයි. ප්‍රණීත ත් වෙයි. ප්‍රකෘතියෙන් ම මිහිරි වෙයි. සැප විහරණය ත් වෙයි. උපනුපන් පාපී අකුසල් දහමුත් සැණෙකින් අතුරුදහන් කරවයි. සංසිඳුවයි.

මහණෙනි, කෙසේ භාවිත කරන ලද, කෙසේ බහුල ව ප්‍රගුණ කරන ලද ආනාපානසති සමාධිය ශාන්ත ත් වෙයි ද? ප්‍රණීත ත් වෙයි ද? ප්‍රකෘතියෙන් ම මිහිරි වෙයි ද? සැප විහරණය ත් වෙයි ද? උපනුපන් පාපී අකුසල් දහමුත් සැණෙකින් අතුරුදහන් කරවයි ද? සංසිඳුවයි ද?

මහණෙනි, මෙහිලා භික්ෂුව අරණ්‍යයට ගියේ හෝ රුක්සෙවණට ගියේ හෝ ….(පෙ)…. ඇල්ම දුරින් ම දුරුවීම අනුව දකිමින් හුස්ම ගන්නෙමි යි හික්මෙයි. ඇල්ම දුරින් ම දුරුවීම අනුව දකිමින් හුස්ම හෙලන්නෙමි යි හික්මෙයි.

මහණෙනි, මෙසේ වඩන ලද, මෙසේ බහුල ව ප්‍රගුණ කරන ලද ආනාපානසති සමාධිය ශාන්ත ත් වෙයි. ප්‍රණීත ත් වෙයි. ප්‍රකෘතියෙන් ම මිහිරි වෙයි. සැප විහරණය ත් වෙයි. උපනුපන් පාපී අකුසල් දහමුත් සැණෙකින් අතුරුදහන් කරවයි. සංසිඳුවයි.

සාදු! සාදු!! සාදු!!!

අසුභ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_10-1-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M