සංයුත්ත නිකාය

මහා වග්ගෝ

11.1.3. දීඝාවු උපාසක සුත්තං

11.1.3. දීඝාවු උපාසකට වදාළ දෙසුම

එක් සමයක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ලෙහෙනුන්ගේ අභයභූමිය වූ වේළුවනයෙහි වැඩවසන සේක. එසමයෙහි දීඝාවු උපාසක රෝගී වූයේ, කායික දුකට පත් වූයේ, බලවත් ව ගිලන් වූයේ වෙයි. ඉක්බිති දීඝාවු උපාසක තෙමේ තම පියා වූ ජෝතික ගෘහපතියා ඇමතුවේ ය.

“ඔබ එන්න, ගෘහපතියෙනි. භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩසිටින සේක් ද, එතැනට එළැඹෙන්න. එළැඹ මගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාද පද්මයන් සිරසින් වන්දනා කරන්න. ‘ස්වාමීනී, දීඝාවු උපාසක රෝගී වූයේ, කායික දුකට පත් වූයේ, බලවත් ව ගිලන් වූයේ වෙයි. ඔහු භාග්‍යවතුන් වහන්සේගේ පාද පද්මයන් සිරස තබා වඳියි. මෙසේත් කියයි. ‘ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ දීඝාවු උපාසකගේ නිවස වෙත අනුකම්පාව උපදවා වඩින සේක් නම් මැනැවි’ යි.”

“එසේ ය, දරුව” යි ජෝතික ගෘහපතියා දීඝාවු උපාසකට පිළිතුරු දී භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් ජෝතික ගෘහපති භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.

“ස්වාමීනී, දීඝාවු උපාසක තෙමේ රෝගී වූයේ, කායික දුකට පත් වූයේ, බලවත් ව ගිලන් වූයේ වෙයි. ඔහු භාග්‍යවතුන් වහන්සේගේ පාද පද්මයන් සිරස තබා වඳියි. මෙසේත් කියයි. ‘ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ දීඝාවු උපාසකගේ නිවස වෙත අනුකම්පාව උපදවා වඩින සේක් නම් මැනැවි’ යි.”

භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද ව වැඩසිටීමෙන් එම ඇරයුම පිළිගත් සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සිවුරු හැඳ පොරොවාගෙන පාත්‍රය හා සිවුර ගෙන දීඝාවු උපාසකගේ නිවසට වැඩම කළ සේක. වැඩම කොට පණවන ලද අසුනෙහි වැඩහුන් සේක. වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ දීඝාවු උපාසකට මෙය වදාළ සේක.

“කිම? දීඝාවු, ඔබට ඉවසිය හැක්කේ ද? කිම? යැපිය හැක්කේ ද? කිම? දුක් වේදනාවෝ අඩු වෙත් ද? වැඩි නොවෙත් ද? අඩු වීමක් ම පෙනෙයි ද? වැඩි වීමක් නොපෙනෙයි ද?”

“ස්වාමීනී, මට ඉවසිය නොහැක්කේ ය. යැපිය නොහැක්කේ ය. මාගේ කායික දුක් වේදනාවෝ බලවත් ය. වැඩිවී යති. අඩු නොවෙති. වැඩිවීමක් ම පෙනෙයි. අඩුවීමක් නොපෙනෙයි.”

“එසේ වී නම් දීඝාවු ඔබ මෙසේ හික්මිය යුත්තේ ය. “බුදුරජුන් කෙරෙහි නිසැක බවට පැමිණ නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වන්නෙමි. එනම්, ‘ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේ ත් අරහං වන සේක. ….(පෙ)…. සත්ථා දේවමනුස්සානං වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක’ යනුවෙනි. ධර්මය කෙරෙහි නිසැක බවට පැමිණ නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වන්නෙමි. එනම්, ‘භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මැනැවින් වදාරණ ලද්දේ ය. ….(පෙ)…. තමා තුළට පමුණුවා ගත යුත්තේ ය. නුවණැත්තන් විසින් තම තම නැණ පමණින් දැක්ක යුත්තේ ය’ යනුවෙනි. සංඝයා කෙරෙහි නිසැක බවට පැමිණ නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වන්නෙමි. එනම්, ‘භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ සුපටිපන්න වෙයි. ….(පෙ)…. ලොවට උතුම් පින්කෙත වෙයි’ යනුවෙනි. ආර්යකාන්ත සීලයකින් යුක්ත වන්නෙමි. නොකැඩුණු, ….(පෙ)…. සමාධිය පිණිස පවතින, සීලයෙන් යුක්ත වන්නෙමි. දීඝාවු, ඔබ ඔය අයුරින් හික්මිය යුත්තේ ය.”

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද යම් මේ සතරක් වූ සෝතාපත්ති අංගයෝ වෙත් ද, ඒ ධර්මයෝ මා තුළ දිස්වෙති. මම ද ඒ ධර්මයන් තුළ දක්නට ලැබෙන්නෙමි. ස්වාමීනී මම වනාහී බුදුරජුන් කෙරෙහි නිසැක බවට පැමිණ නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙමි. එනම්, ‘ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේ ත් අරහං වන සේක. ….(පෙ)…. සත්ථා දේවමනුස්සානං වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක’ යනුවෙනි. ධර්මය කෙරෙහි නිසැක බවට පැමිණ නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙමි. එනම්, ‘භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මැනැවින් වදාරණ ලද්දේ ය. ….(පෙ)…. තමා තුළට පමුණුවා ගත යුත්තේ ය. නුවණැත්තන් විසින් තම තම නැණ පමණින් දැක්ක යුත්තේ ය’ යනුවෙනි. සංඝයා කෙරෙහි නිසැක බවට පැමිණ නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙමි. එනම්, ‘භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ සුපටිපන්න වෙයි. ….(පෙ)…. ලොවට උතුම් පින්කෙත වෙයි’ යනුවෙනි. ආර්යකාන්ත සීලයකින් යුක්ත වෙමි. නොකැඩුණු, ….(පෙ)…. සමාධිය පිණිස පවතින, සීලයෙන් යුක්ත වෙමි.”

“එසේ වී නම්, දීඝාවු ඔබ මේ සතරක් වූ සෝතාපත්ති අංගයන් තුළ පිහිටා, මතුවට අවබෝධ ඥානය ඇතිවෙන සය වැදෑරුම් ධර්මයන් වැඩිය යුත්තෙහි ය. දීඝාවු, ඔබ මෙහිලා සියළු සංස්කාරයන් කෙරෙහි අනිත්‍ය අනුව දකිමින් වාසය කරව. අනිත්‍යයෙහි දුක් සංඥාවෙන් යුතුව ත්, දුකෙහි අනාත්ම සංඥාවෙන් යුතුව ත්, එහි ඇල්ම ප්‍රහාණය කරන සංඥාවෙන් යුතුව ත්, එහි නොඇලෙන සංඥාවෙන් යුතුව ත්, එහි ඇල්ම නිරුද්ධ කරන සංඥාවෙන් යුතුව ත් වාසය කරව. දීඝාවු, ඔබ හික්මිය යුත්තේ ඔය අයුරින් ය.

ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් අවබෝධ ඥානය ඇතිකරවන යම් සය වැදෑරුම් ධර්මයෝ මට වදාරණ ලද්දාහු ද, ඒ ධර්මයෝ මා තුළ දිස්වෙති. මම ත් ඒ ධර්මයන් තුළ දක්නට ලැබෙන්නෙමි. ස්වාමීනී, මම වනාහී සියළු සංස්කාරයන් කෙරෙහි අනිත්‍ය අනුව දකිමින් වාසය කරමි. අනිත්‍යයෙහි දුක් සංඥාවෙන් යුතුව ත්, දුකෙහි අනාත්ම සංඥාවෙන් යුතුව ත්, එහි ඇල්ම ප්‍රහාණය කරන සංඥාවෙන් යුතුව ත්, එහි නොඇලෙන සංඥාවෙන් යුතුව ත්, එහි ඇල්ම නිරුද්ධ කරන සංඥාවෙන් යුතුව ත් වාසය කරමි.

එනමුදු ස්වාමීනී, මා හට මෙසේ සිතෙයි. ‘මාගේ ඇවෑමෙන් මේ ජෝතික ගෘහපති තෙමේ දුකකට පත් නොවේවා!’ යි.”

“දරුව, දීඝාවු, ඔබ එසේ මෙනෙහි නොකරව. එහෙයින් දරුව දීඝාවු, ඔබ භාග්‍යවතුන් වහන්සේ යමක් වදාරත් ද, එය ම මනාකොට මෙනෙහි කරව.”

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ දීඝාවු උපාසකට මේ අවවාදයෙන් අවවාද කොට, හුනස්නෙන් නැගිට වැඩි සේක. එකල්හී දීඝාවු උපාසක භාග්‍යවතුන් වහන්සේ වැඩම කොට නොබෝ වේලාවකින් කලුරිය කළේ ය. ඉක්බිති බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ.

“ස්වාමීනී, යම් ඒ දීඝාවු නම් උපාසකයෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂේප වූ අවවාදයෙන් අවවාද කරන ලද්දේ ද, ඔහු කලුරිය කළේ ය. ඔහුගේ ගතිය කුමක් ද? පරලොව ජීවිතය කුමක් ද?”

“මහණෙනි, දීඝාවු උපාසක නුවණැත්තෙක් වූයේ ය. ධර්මානුධර්මයට පිළිපන්නේ ය. ධර්මය මුල්කොට මා හට වෙහෙස නොකළේ ය. මහණෙනි, දීඝාවු උපාසක ඕරම්භාගිය සංයෝජන පස ගෙවා දැමීමෙන් ඕපපාතික ව එහි ම පිරිනිවන් පාන සුළු ව, ඒ ලෝකයෙන් පෙරලා නොඑන ස්වභාවයට පත්වූයේ වෙයි.”

සාදු! සාදු!! සාදු!!!

දීඝාවු උපාසක සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_11-1-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M