සංයුත්ත නිකාය

මහා වග්ගෝ

11.1.7. වේළුද්වාරෙය්‍ය සුත්තං

11.1.7. වේළුද්වාර ගමෙහි දී වදාළ දෙසුම

එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මහත් වූ භික්ෂු සංඝයා සමඟ කොසොල් ජනපදයන්හි චාරිකාවෙහි වඩිනා සේක්, වේළුද්වාර නම් කොසොල් වාසීන්ගේ බ්‍රාහ්මණ ගම කරා වැඩි සේක. වේළුද්වාරවැසි බ්‍රාහ්මණ ගෘහපතියෝ මෙය ඇසූහ.

“ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදි වූ, ශාක්‍ය පුත්‍ර වූ, ශ්‍රමණ භවත් ගෞතමයාණෝ මහත් වූ භික්ෂු සංඝයා සමඟ කොසොල් ජනපදයන්හි චාරිකාවෙහි වඩිනා සේක්, වේළුද්වාර ගමට පැමිණි සේක. ඒ ගෞතම භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ ව මෙබඳු වූ කල්‍යාණ කීර්ති ඝෝෂාවක් උස් ව පැනනැංගේ ය. එනම්; ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේ ත් අරහං වන සේක. සම්මා සම්බුද්ධ වන සේක. විජ්ජාචරණ සම්පන්න වන සේක. සුගත වන සේක. ලෝකවිදූ වන සේක. අනුත්තරෝ පුරිසදම්ම සාරථී වන සේක. සත්ථා දේවමනුස්සානං වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක’ යනුවෙනි. උන්වහන්සේ දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බමුණන් සහිත, දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු මේ ලෝකය ස්වකීය විශිෂ්ට ඥානයෙන් දැන, සාක්ෂාත් කොට පවසන සේක. උන්වහන්සේ ධර්මය දේශනා කරන සේක. මුල කල්‍යාණ වූ, මැද කල්‍යාණ වූ, අවසානය කල්‍යාණ වූ, අර්ථ සහිත වූ, ව්‍යඤ්ජන සහිත වූ, මුළුමනින් ම පිරිපුන්, පිරිසිදු නිවන් මග පවසන සේක. එබඳු වූ රහතුන් වහන්සේ නමකගේ දැක්ම ඉතා මැනැවි.”

ඉක්බිති වේළුද්වාරවැසි බ්‍රාහ්මණ ගෘහපතිවරු භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියාහු ය. පැමිණ ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්හ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වූහ. සතුටු විය යුතු පිළිසඳර කථාබහ නිමවා එකත්පස් ව හිඳගත්හ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ ප්‍රණාම කොට එකත්පස් ව හිඳගත්හ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේට සිය නම් ගොත් පවසා එකත්පස් ව හිඳගත්හ. ඇතැම් කෙනෙක් නිශ්ශබ්ද ව එකත්පස් ව හිඳගත්හ.

එකත්පස් ව හුන් වේළුද්වාරවැසි බ්‍රාහ්මණ ගෘහපතිවරු භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ.

“භවත් ගෞතමයන් වහන්ස, අපි මෙබඳු වූ කැමැත්තක් ඇති ව, මෙබඳු වූ ඡන්දයක් ඇති ව, මෙබඳු වූ පැතුමක් ඇති ව, දරුවන්ගේ ත් කරදර සහිත ව නිදමින් ගිහි ගෙදර වසන්නෙමු. කසී රට සඳුන් ගල්වන්නෙමු. මල් සුවඳ විලවුන් දරන්නෙමු. රන් රිදී පරිහරණය කරන්නෙමු. එනම්, කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව්ලොවෙහි උපදින්නෙමු යන කරුණ යි.

භවත් ගෞතමයාණෝ මෙබඳු කැමැත්තක් ඇති ව, මෙබඳු වූ ඡන්දයක් ඇති ව, මෙබඳු වූ පැතුමක් ඇති ව වසන්නා වූ අප හට යම් අයුරකින් අපි දරුවන්ගේ ත් කරදර සහිත ව නිදමින් ගිහි ගෙදර වසන්නෙමු නම්, කසී රට සඳුන් ගල්වන්නෙමු නම්, මල් සුවඳ විලවුන් දරන්නෙමු නම්, රන් රිදී පරිහරණය කරන්නෙමු නම්, කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව්ලොවෙහි ද උපදින්නෙමු නම්, එබඳු වූ ධර්මයක් දේශනා කරත්වා!”

“ගෘහපතිවරුනි, තමා තුළට පමුණුවා ගලපා බලන්නා වූ ධර්ම ක්‍රමයක් ඔබලාට දේශනා කරන්නෙමි. එය අසව්. මනාකොට මෙනෙහි කරව්. පවසන්නෙමි.”

“එසේ ය, භවත” යැයි වේළුද්වාරවැසි බ්‍රාහ්මණ ගෘහපතීහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“ගෘහපතිවරුනි, තමා තුළට පමුණුවා ගලපා බලන්නා වූ ධර්ම ක්‍රමය කුමක් ද? ගෘහපතිවරුනි, මෙහිලා ආර්යශ්‍රාවකයා මෙසේ නුවණින් සලකා බලයි. ‘මම් වනාහී ජීවත් වෙනු කැමැත්තෙමි. නොමැරෙනු කැමැත්තෙමි. සැප කැමැත්තෙමි. දුක පිළිකුල් කරමි. ජීවත් වනු කැමති, නොමැරෙනු කැමැති, සැප කැමති, දුක පිළිකුල් කරන මාව යමෙක් ජීවිතයෙන් තොර කරයි නම්, එය මට ප්‍රිය වූ, මනාප වූ දෙයක් නොවෙයි. ඉදින් මම ත් ජීවත් වනු කැමති, නොමැරෙනු කැමැති, සැප කැමති, දුක පිළිකුල් කරන වෙනත් කෙනෙකු ජීවිතයෙන් තොර කරයි නම්, අන්‍යයන්ට ත් එය අප්‍රිය ය, අමනාප ය. යම් මේ ධර්මයක් මට අප්‍රිය ද, අමනාප ද, ඒ ධර්මය අන්‍යයන්ට ත් අප්‍රිය වෙයි; අමනාප වෙයි. යම් මේ ධර්මයක් මට අප්‍රිය නම්, අමනාප නම්, මම ඒ දෙය හා කෙසේ නම් අන් කෙනෙකුව යොදවන්නෙම් ද?’ ඔහු මේ අයුරින් නුවණින් සලකා බලා තමා ත් ප්‍රාණඝාතයෙන් වැළකුණේ වෙයි. අන්‍යයන්ව ද ප්‍රාණඝාතයෙන් වැළකීමෙහි සමාදන් කරවයි. ප්‍රාණඝාතයෙන් වැළකීමේ ගුණ ත් කියයි. මෙසේ ඔහුගේ මේ කායික හැසිරීම තුන් කෙලවරකින් පිරිසිදු හෙවත් ත්‍රිකෝටි පාරිශුද්ධිය වෙයි.

තව ද ගෘහපතිවරුනි, ආර්යශ්‍රාවකයා මෙසේ නුවණින් සලකා බලයි. ‘යමෙක් වනාහී මා විසින් නුදුන් දෙයක් සොර සිතින් පැහැර ගන්නේ නම්, එය මට ප්‍රිය වූ, මනාප වූ දෙයක් නොවෙයි. ඉදින් මම ත් අන් කෙනෙකු විසින් නුදුන් දෙයක් සොර සිතින් පැහැර ගන්නෙම් නම් අන්‍යයන්ට ත් එය අප්‍රිය ය, අමනාප ය. යම් මේ ධර්මයක් මට අප්‍රිය ද, අමනාප ද, ඒ ධර්මය අන්‍යයන්ට ත් අප්‍රිය වෙයි; අමනාප වෙයි. යම් මේ ධර්මයක් මට අප්‍රිය නම්, අමනාප නම්, මම ඒ දෙය හා කෙසේ නම් අන් කෙනෙකුව යොදවන්නෙම් ද?’ ඔහු මේ අයුරින් නුවණින් සලකා බලා තමා ත් සොරකමින් වැළකුණේ වෙයි. අන්‍යයන්ව ද සොරකමින් වැළකීමෙහි සමාදන් කරවයි. සොරකමින් වැළකීමේ ගුණ ත් කියයි. මෙසේ ඔහුගේ මේ කායික හැසිරීම තුන් කෙලවරකින් පිරිසිදු හෙවත් ත්‍රිකෝටි පාරිශුද්ධිය වෙයි.

තව ද ගෘහපතිවරුනි, ආර්යශ්‍රාවකයා මෙසේ නුවණින් සලකා බලයි. ‘යමෙක් වනාහී මාගේ බිරින්දෑවරුන් කෙරෙහි වරදවා හැසිරීමකට පැමිණෙන්නේ නම්, එය මට ප්‍රිය වූ, මනාප වූ දෙයක් නොවෙයි. ඉදින් මම ත් අන් කෙනෙකුගේ බිරින්දෑවරුන් කෙරෙහි වරදවා හැසිරීමකට පැමිණෙන්නෙම් නම්, අන්‍යයන්ට ත් එය අප්‍රිය ය, අමනාප ය. යම් මේ ධර්මයක් මට අප්‍රිය ද, අමනාප ද, ඒ ධර්මය අන්‍යයන්ට ත් අප්‍රිය වෙයි; අමනාප වෙයි. යම් මේ ධර්මයක් මට අප්‍රිය නම්, අමනාප නම්, මම ඒ දෙය හා කෙසේ නම් අන් කෙනෙකුව යොදවන්නෙම් ද?’ ඔහු මේ අයුරින් නුවණින් සලකා බලා තමා ත් වැරදි කාම සේවනයෙන් වැළකුණේ වෙයි. අන්‍යයන්ව ද වැරදි කාම සේවනයෙන් වැළකීමෙහි සමාදන් කරවයි. වැරදි කාම සේවනයෙන් වැළකීමේ ගුණ ත් කියයි. මෙසේ ඔහුගේ මේ කායික හැසිරීම තුන් කෙලවරකින් පිරිසිදු හෙවත් ත්‍රිකෝටි පාරිශුද්ධිය වෙයි.

තව ද ගෘහපතිවරුනි, ආර්යශ්‍රාවකයා මෙසේ නුවණින් සලකා බලයි. ‘යමෙක් වනාහී බොරු පැවසීමෙන් මාගේ යහපත නසන්නේ නම්, එය මට ප්‍රිය වූ, මනාප වූ දෙයක් නොවෙයි. ඉදින් මම ත් බොරු පැවසීමෙන් අන් කෙනෙකුගේ යහපත නසන්නෙම් නම් අන්‍යයන්ට ත් එය අප්‍රිය ය, අමනාප ය. යම් මේ ධර්මයක් මට අප්‍රිය ද, අමනාප ද, ඒ ධර්මය අන්‍යයන්ට ත් අප්‍රිය වෙයි; අමනාප වෙයි. යම් මේ ධර්මයක් මට අප්‍රිය නම්, අමනාප නම්, මම ඒ දෙය හා කෙසේ නම් අන් කෙනෙකුව යොදවන්නෙම් ද?’ ඔහු මේ අයුරින් නුවණින් සලකා බලා තමා ත් බොරු කීමෙන් වැළකුණේ වෙයි. අන්‍යයන්ව ද බොරු කීමෙන් වැළකීමෙහි සමාදන් කරවයි. බොරු කීමෙන් වැළකීමේ ගුණ ත් කියයි. මෙසේ ඔහුගේ මේ වාචසික හැසිරීම තුන් කෙලවරකින් පිරිසිදු හෙවත් ත්‍රිකෝටි පාරිශුද්ධිය වෙයි.

තව ද ගෘහපතිවරුනි, ආර්යශ්‍රාවකයා මෙසේ නුවණින් සලකා බලයි. ‘යමෙක් වනාහී කේලාම් කීමෙන් මිත්‍රයන් මා සමඟ බිඳවන්නේ නම්, එය මට ප්‍රිය වූ, මනාප වූ දෙයක් නොවෙයි. ඉදින් මම ත් කේලාම් කීමෙන් අන් අයෙකු මිත්‍රයන් හා බිඳවන්නෙම් නම් අන්‍යයන්ට ත් එය අප්‍රිය ය, අමනාප ය. යම් මේ ධර්මයක් මට අප්‍රිය ද, අමනාප ද, ඒ ධර්මය අන්‍යයන්ට ත් අප්‍රිය වෙයි; අමනාප වෙයි. යම් මේ ධර්මයක් මට අප්‍රිය නම්, අමනාප නම්, මම ඒ දෙය හා කෙසේ නම් අන් කෙනෙකුව යොදවන්නෙම් ද?’ ඔහු මේ අයුරින් නුවණින් සලකා බලා තමා ත් කේලාම් කීමෙන් වැළකුණේ වෙයි. අන්‍යයන්ව ද කේලාම් කීමෙන් වැළකීමෙහි සමාදන් කරවයි. කේලාම් කීමෙන් වැළකීමේ ගුණ ත් කියයි. මෙසේ ඔහුගේ මේ වාචසික හැසිරීම තුන් කෙලවරකින් පිරිසිදු හෙවත් ත්‍රිකෝටි පාරිශුද්ධිය වෙයි.

තව ද ගෘහපතිවරුනි, ආර්යශ්‍රාවකයා මෙසේ නුවණින් සලකා බලයි. ‘යමෙක් වනාහී මට දරුණු වචනයෙන් බැණ වදින්නේ නම්, එය මට ප්‍රිය වූ, මනාප වූ දෙයක් නොවෙයි. ඉදින් මම ත් අන් කෙනෙකුට දරුණු වචනයෙන් බැණ වදින්නෙම් නම් අන්‍යයන්ට ත් එය අප්‍රිය ය, අමනාප ය. යම් මේ ධර්මයක් මට අප්‍රිය ද, අමනාප ද, ඒ ධර්මය අන්‍යයන්ට ත් අප්‍රිය වෙයි; අමනාප වෙයි. යම් මේ ධර්මයක් මට අප්‍රිය නම්, අමනාප නම්, මම ඒ දෙය හා කෙසේ නම් අන් කෙනෙකුව යොදවන්නෙම් ද?’ ඔහු මේ අයුරින් නුවණින් සලකා බලා තමා ත් ඵරුෂ වචනයෙන් වැළකුණේ වෙයි. අන්‍යයන්ව ද ඵරුෂ වචනයෙන් වැළකීමෙහි සමාදන් කරවයි. ඵරුෂ වචනයෙන් වැළකීමේ ගුණ ත් කියයි. මෙසේ ඔහුගේ මේ වාචසික හැසිරීම තුන් කෙලවරකින් පිරිසිදු හෙවත් ත්‍රිකෝටි පාරිශුද්ධිය වෙයි.

තව ද ගෘහපතිවරුනි, ආර්යශ්‍රාවකයා මෙසේ නුවණින් සලකා බලයි. ‘යමෙක් වනාහී මා සමඟ නිස්සාර කතාබහේ යෙදෙන්නේ නම්, එය මට ප්‍රිය වූ, මනාප වූ දෙයක් නොවෙයි. ඉදින් මම ත් අන් කෙනෙකු සමඟ නිසරු කතාබහේ යෙදෙන්නෙම් නම් අන්‍යයන්ට ත් එය අප්‍රිය ය, අමනාප ය. යම් මේ ධර්මයක් මට අප්‍රිය ද, අමනාප ද, ඒ ධර්මය අන්‍යයන්ට ත් අප්‍රිය වෙයි; අමනාප වෙයි. යම් මේ ධර්මයක් මට අප්‍රිය නම්, අමනාප නම්, මම ඒ දෙය හා කෙසේ නම් අන් කෙනෙකුව යොදවන්නෙම් ද?’ ඔහු මේ අයුරින් නුවණින් සලකා බලා තමා ත් හිස් වචන කීමෙන් වැළකුණේ වෙයි. අන්‍යයන්ව ද හිස් වචන කීමෙන් වැළකීමෙහි සමාදන් කරවයි. හිස් වචන කීමෙන් වැළකීමේ ගුණ ත් කියයි. මෙසේ ඔහුගේ මේ වාචසික හැසිරීම තුන් කෙලවරකින් පිරිසිදු හෙවත් ත්‍රිකෝටි පාරිශුද්ධිය වෙයි.

ඔහු බුදුරජුන් කෙරෙහි නිසැක බවට පැමිණ නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙයි. එනම්, ‘ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේ ත් අරහං වන සේක. ….(පෙ)…. සත්ථා දේවමනුස්සානං වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක’ යනුවෙනි. ධර්මය කෙරෙහි නිසැක බවට පැමිණ නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙයි. එනම්, ‘භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මැනැවින් වදාරණ ලද්දේ ය. ….(පෙ)…. තමා තුළට පමුණුවා ගත යුත්තේ ය. නුවණැත්තන් විසින් තම තම නැණ පමණින් දැක්ක යුත්තේ ය’ යනුවෙනි. සංඝයා කෙරෙහි නිසැක බවට පැමිණ නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙයි. එනම්, ‘භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ සුපටිපන්න වෙයි. ….(පෙ)…. ලොවට උතුම් පින්කෙත වෙයි’ යනුවෙනි. ආර්යකාන්ත සීලයකින් යුක්ත වෙයි. නොකැඩුණු, ….(පෙ)…. සමාධිය පිණිස පවතින, සීලයෙන් යුක්ත වෙයි.

ගෘහපතිවරුනි, යම් කලෙක ආර්ය ශ්‍රාවක තෙමේ (කලින් සඳහන් කළ කයෙන් සිදුවන අකුසල් තුනෙන් වැළකී, වචනයෙන් සිදුවන අකුසල් සතරින් වැළකී) මේ ධර්ම සතෙන් යුක්ත වෙයි ද, කැමති විය යුතු (සෝතාපත්ති අංග) මේ සතර කරුණින් යුක්ත වෙයි ද, ඔහු කැමති නම් තමා පිළිබඳ ව තමාටම පවසාගත හැක්කේ ය.

‘මම නිරයෙන් මිදුණෙමි. තිරිසන් යෝනියෙන් මිදුණෙමි. ප්‍රේත විෂයෙන් මිදුණෙමි. අපාය, දුර්ගති, විනිපාතයෙන් මිදුණෙමි. සිව් අපායෙන් මිදුණු නියත වශයෙන් නිවන පිහිට කොට ගත් සෝවාන් වූ කෙනෙක්මි’ වශයෙනි.”

මෙසේ වදාළ කල්හී වේළුද්වාරවැසි බ්‍රාහ්මණ ගෘහපතිවරු භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ.

“භවත් ගෞතමයන් වහන්ස, ඉතා මනහර ය ….(පෙ)…. ඒ අපි භවත් ගෞතමයන් වහන්සේ ව සරණ යමු. ධර්මය ත්, භික්ෂු සංඝයා ත් සරණ යමු. භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවි තිබෙන තුරා සරණ ගිය උපාසකවරු ලෙස අප ව පිළිගන්නා සේක්වා!”

සාදු! සාදු!! සාදු!!!

වේළුද්වාරෙය්‍ය සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_11-1-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M