සංයුත්ත නිකාය

මහා වග්ගෝ

12.1.3. කුලපුත්ත සුත්තං

12.1.3. කුලපුත්‍රයා ගැන වදාළ දෙසුම

මහණෙනි, අතීත කාලයෙහි යම්කිසි කුලපුත්‍රයෝ මැනැවින් ගිහි ගෙයින් නික්ම අනගාරික සසුනෙහි පැවිදි වූවාහු ද, ඒ සියල්ලෝ චතුරාර්ය සත්‍යය ඒ වූ සැටියෙන් ම අවබෝධ කරනු පිණිස පැවිදි වූවාහු ය. මහණෙනි, අනාගත කාලයෙහි යම්කිසි කුලපුත්‍රයෝ මැනැවින් ගිහි ගෙයින් නික්ම අනගාරික සසුනෙහි පැවිදි වන්නාහු ද, ඒ සියල්ලෝ චතුරාර්ය සත්‍යය ඒ වූ සැටියෙන් ම අවබෝධ කරනු පිණිස පැවිදි වන්නාහ. මහණෙනි, මෙකල්හි යම්කිසි කුලපුත්‍රයෝ මැනැවින් ගිහි ගෙයින් නික්ම අනගාරික සසුනෙහි පැවිදි වෙත් ද, ඒ සියල්ලෝ චතුරාර්ය සත්‍යය ඒ වූ සැටියෙන් ම අවබෝධ කරනු පිණිස පැවිදි වෙති.

ඒ කවර සතරක් අවබෝධ කරනු පිණිස ද යත්; දුක්ඛාර්ය සත්‍යයෙහි අවබෝධය පිණිස ය. දුක්ඛ සමුදය ආර්ය සත්‍යයෙහි අවබෝධය පිණිස ය. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යයෙහි අවබෝධය පිණිස ය. දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යයෙහි අවබෝධය පිණිස ය.

මහණෙනි, අතීත කාලයෙහි යම්කිසි කුලපුත්‍රයෝ මැනැවින් ගිහි ගෙයින් නික්ම අනගාරික සසුනෙහි පැවිදි වූවාහු ද, ඒ සියල්ලෝ මේ චතුරාර්ය සත්‍යය ම ඒ වූ සැටියෙන් ම අවබෝධ කරනු පිණිස පැවිදි වූවාහු ය. මහණෙනි, අනාගත කාලයෙහි යම්කිසි කුලපුත්‍රයෝ මැනැවින් ගිහි ගෙයින් නික්ම අනගාරික සසුනෙහි පැවිදි වන්නාහු ද, ඒ සියල්ලෝ මේ චතුරාර්ය සත්‍යය ම ඒ වූ සැටියෙන් ම අවබෝධ කරනු පිණිස පැවිදි වන්නාහ. මහණෙනි, මෙකල්හි යම්කිසි කුලපුත්‍රයෝ මැනැවින් ගිහි ගෙයින් නික්ම අනගාරික සසුනෙහි පැවිදි වෙත් ද, ඒ සියල්ලෝ මේ චතුරාර්ය සත්‍යය ම ඒ වූ සැටියෙන් ම අවබෝධ කරනු පිණිස පැවිදි වෙති.

එහෙයින් මහණෙනි, මෙය දුක යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුකෙහි හටගැනීම යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුක් නිරුද්ධ වීම යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.

සාදු! සාදු!! සාදු!!!

කුලපුත්ත සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_12-1-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M