මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ බරණැස ඉසිපතන මිගදායෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ පස් දෙනෙකුගෙන් යුත් භික්ෂූන් ඇමතූ සේක.
“මහණෙනි, මේ අන්ත දෙක පැවිද්දන් විසින් සේවනය නොකළ යුත්තේ ය. යම් මේ කාමයන්හි කාම සුඛයෙහි ඇලී ගැලී වාසය කිරීමක් ඇද්ද, එය හීන ය. ග්‍රාම්‍යය ය. පෘථග්ජනයන්ට අයත් ය. අනාර්ය ය. අයහපතින් යුක්ත ය. යම් මේ තමාව ක්ලාන්ත වන අයුරින් දුකෙහි යෙදවීමක් ඇද්ද, එය දුක ය. අනාර්ය ය. අයහපතින් යුක්ත ය.
මහණෙනි, මේ අන්ත දෙකට නොපැමිණ තථාගතයන් විසින් මධ්‍යම ප්‍රතිපදාව විශේෂයෙන් අවබෝධ කරන ලද්දේ ය. එය දහම් ඇස ඇති කරවයි. නුවණ ඇතිකරවයි. කෙලෙස් සංසිඳුවීම පිණිස, විශිෂ්ට ඥානය ඇති කරවීම පිණිස, සත්‍යාවබෝධය පිණිස, නිවන පිණිස පවතියි.
මහණෙනි, තථාගතයන් විසින් විශේෂ කොට අවබෝධ කරන ලද දහම් ඇස ඇති කරවන, ඥානය ඇති කරවන, කෙලෙස් සංසිඳුවන, විශිෂ්ට ඥානය උපදවන, සත්‍යාවබෝධය කරවන, නිවන පිණිස පවතින ඒ මධ්‍යම ප්‍රතිපදාව කුමක් ද? මෙසේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ම ය. එනම්; නිවැරදි දෘෂ්ටිය ය. නිවැරදි සංකල්පනා ය. නිවැරදි වචන භාවිතය ය. නිවැරදි කායික ක්‍රියා ය. නිවැරදි දිවි පැවැත්ම ය. නිවැරදි වීර්යය ය. නිවැරදි සිහිය ය. නිවැරදි චිත්ත සමාධිය ය. මහණෙනි, මෙය වනාහී තථාගතයන් විසින් විශේෂ කොට අවබෝධ කරන ලද දහම් ඇස ඇති කරවන, ඥානය ඇති කරවන, කෙලෙස් සංසිඳුවන, විශිෂ්ට ඥානය උපදවන, සත්‍යාවබෝධය කරවන, නිවන පිණිස පවතින ඒ මධ්‍යම ප්‍රතිපදාව ය.
මහණෙනි, මෙය වනාහී දුක්ඛාර්ය සත්‍යය යි. ඉපදීම ත් දුක ය. ජරාවට පත්වීම ත් දුක ය. රෝගී වීම ත් දුක ය. මරණය ත් දුක ය. අප්‍රියයන් හා එක්වන්නට සිදුවීම ත් දුක ය. ප්‍රියයන්ගෙන් වෙන්වීමට සිදුවීම ත් දුක ය. යමක් කැමති වෙයි ද, එය නොලැබෙයි නම්, එය ත් දුක ය. සංක්ෂේපයෙන් කිව්වොත් උපාදානස්කන්ධ පස ම දුක ය.
මහණෙනි, මෙය වනාහී දුක් හටගැනීම නම් ආර්ය සත්‍යය යි. නැවත භවයක් සකසා දෙන, ආශ්වාදයෙන් ඇලෙන ස්වභාවයෙන් යුතු, උපනුපන් තන්හි සතුටෙන් පිළිගන්නා වූ, යම් මේ තණ්හාවක් ඇද්ද, එය යි. එනම්; කාම තණ්හාව ය, භව තණ්හාව ය, විභව තණ්හාව ය.
මහණෙනි, මෙය වනාහී දුක් නිරුද්ධ වීම නම් ආර්ය සත්‍යය යි. ඒ ත්‍රිවිධ තණ්හාවේ ම ඉතුරුවීමක් නොතබා, නොඇල්මෙන් යම් නිරුද්ධ වීමක් ඇද්ද, අත්හැරීමක් ඇද්ද, දුරු කිරීමක් ඇද්ද, නිදහස් වීමක් ඇද්ද, ඇල්ම නැති බවක් ඇද්ද, එය යි.
මහණෙනි, මෙය වනාහී දුක් නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව නම් ආර්ය සත්‍යය යි. ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ම ය. එනම්; නිවැරදි දෘෂ්ටිය ය. නිවැරදි සංකල්පනා ය. නිවැරදි වචන භාවිතය ය. නිවැරදි කායික ක්‍රියා ය. නිවැරදි දිවි පැවැත්ම ය. නිවැරදි වීර්යය ය. නිවැරදි සිහිය ය. නිවැරදි චිත්ත සමාධිය ය.
‘මෙය දුක නම් වූ ආර්ය සත්‍යය යැ’යි මහණෙනි, මා හට පෙර නොඇසූ විරූ ධර්මයන්හි ඇස පහළ වූයේ ය. ඥානය පහළ වූයේ ය. ප්‍රඥාව පහළ වූයේ ය. විද්‍යාව පහළ වූයේ ය. ආලෝකය පහළ වූයේ ය.
‘ඒ මේ දුක නම් වූ ආර්ය සත්‍යය වනාහී පිරිසිඳ අවබෝධය කළ යුත්තේ ය’ යි මහණෙනි, මා හට පෙර නොඇසූ විරූ ධර්මයන්හි ඇස පහළ වූයේ ය. ඥානය පහළ වූයේ ය. ප්‍රඥාව පහළ වූයේ ය. විද්‍යාව පහළ වූයේ ය. ආලෝකය පහළ වූයේ ය.
‘ඒ මේ දුක නම් වූ ආර්ය සත්‍යය වනාහී පිරිසිඳ අවබෝධය කරන ලද්දේ ය’ යි මහණෙනි, මා හට පෙර නොඇසූ විරූ ධර්මයන්හි ඇස පහළ වූයේ ය. ඥානය පහළ වූයේ ය. ප්‍රඥාව පහළ වූයේ ය. විද්‍යාව පහළ වූයේ ය. ආලෝකය පහළ වූයේ ය.
‘මෙය දුක හටගැනීම නම් වූ ආර්ය සත්‍යය යැ’යි මහණෙනි, මා හට පෙර නොඇසූ විරූ ධර්මයන්හි ඇස පහළ වූයේ ය. ඥානය පහළ වූයේ ය. ප්‍රඥාව පහළ වූයේ ය. විද්‍යාව පහළ වූයේ ය. ආලෝකය පහළ වූයේ ය.
‘ඒ මේ දුක හටගැනීම නම් වූ ආර්ය සත්‍යය වනාහී ප්‍රහාණය කළ යුත්තේ ය’ යි මහණෙනි, මා හට පෙර නොඇසූ විරූ ධර්මයන්හි ඇස පහළ වූයේ ය. ඥානය පහළ වූයේ ය. ප්‍රඥාව පහළ වූයේ ය. විද්‍යාව පහළ වූයේ ය. ආලෝකය පහළ වූයේ ය.
‘ඒ මේ දුක හටගැනීම නම් වූ ආර්ය සත්‍යය වනාහී ප්‍රහාණය කරන ලද්දේ ය’ යි මහණෙනි, මා හට පෙර නොඇසූ විරූ ධර්මයන්හි ඇස පහළ වූයේ ය. ඥානය පහළ වූයේ ය. ප්‍රඥාව පහළ වූයේ ය. විද්‍යාව පහළ වූයේ ය. ආලෝකය පහළ වූයේ ය.
‘මෙය දුක නිරුද්ධ වීම නම් වූ ආර්ය සත්‍යය යැ’යි මහණෙනි, මා හට පෙර නොඇසූ විරූ ධර්මයන්හි ඇස පහළ වූයේ ය. ඥානය පහළ වූයේ ය. ප්‍රඥාව පහළ වූයේ ය. විද්‍යාව පහළ වූයේ ය. ආලෝකය පහළ වූයේ ය.
‘ඒ මේ දුක නිරුද්ධ වීම නම් වූ ආර්ය සත්‍යය වනාහී සාක්ෂාත් කළ යුත්තේ ය’ යි මහණෙනි, මා හට පෙර නොඇසූ විරූ ධර්මයන්හි ඇස පහළ වූයේ ය. ඥානය පහළ වූයේ ය. ප්‍රඥාව පහළ වූයේ ය. විද්‍යාව පහළ වූයේ ය. ආලෝකය පහළ වූයේ ය.
‘ඒ මේ දුක නිරුද්ධ වීම නම් වූ ආර්ය සත්‍යය වනාහී සාක්ෂාත් කරන ලද්දේ ය’ යි මහණෙනි, මා හට පෙර නොඇසූ විරූ ධර්මයන්හි ඇස පහළ වූයේ ය. ඥානය පහළ වූයේ ය. ප්‍රඥාව පහළ වූයේ ය. විද්‍යාව පහළ වූයේ ය. ආලෝකය පහළ වූයේ ය.
‘මෙය දුක නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍යය යැ’යි මහණෙනි, මා හට පෙර නොඇසූ විරූ ධර්මයන්හි ඇස පහළ වූයේ ය. ඥානය පහළ වූයේ ය. ප්‍රඥාව පහළ වූයේ ය. විද්‍යාව පහළ වූයේ ය. ආලෝකය පහළ වූයේ ය.
‘ඒ මේ දුක නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍යය වනාහී ප්‍රගුණ කළ යුත්තේ ය’ යි මහණෙනි, මා හට පෙර නොඇසූ විරූ ධර්මයන්හි ඇස පහළ වූයේ ය. ඥානය පහළ වූයේ ය. ප්‍රඥාව පහළ වූයේ ය. විද්‍යාව පහළ වූයේ ය. ආලෝකය පහළ වූයේ ය.
‘ඒ මේ දුක නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍යය වනාහී ප්‍රගුණ කරන ලද්දේ ය’ යි මහණෙනි, මා හට පෙර නොඇසූ විරූ ධර්මයන්හි ඇස පහළ වූයේ ය. ඥානය පහළ වූයේ ය. ප්‍රඥාව පහළ වූයේ ය. විද්‍යාව පහළ වූයේ ය. ආලෝකය පහළ වූයේ ය.
මහණෙනි, යම්තාක් කල් ම මා හට මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳ ව මේ අයුරින් (ආර්ය සත්‍යයක් බව යන සත්‍ය ඥානය ත්, අනතුරුව කළ යුතු දේ ගැන ඇති කෘත්‍ය ඥානය ත්, එය සම්පූර්ණ කළ පසු ඇතිවන කෘත ඥානය ත්) පරිවර්ත තුනකින් යුතුව, දොළොස් ආකාරයකින් යුතුව, ඒ වූ සැටියෙන් ම ඥාන දර්ශනය ඉතා පිරිසිදුවට අවබෝධ නොවූයේ ද, මහණෙනි, ඒ තාක් ම මම දෙවියන් සහිත වූ, මරුන් සහිත වූ, බඹුන් සහිත වූ, ශ්‍රමණබ්‍රාහ්මණයන් සහිත වූ, දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයෙහි අනුත්තර වූ සම්මා සම්බෝධිය විශේෂ කොට අවබෝධ කරගත් බවට ප්‍රතිඥා නොදුන්නෙමි.
මහණෙනි, යම් කලෙක මා හට මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳ ව මේ අයුරින් (ආර්ය සත්‍යයක් බව යන සත්‍ය ඥානය ත්, අනතුරුව කළ යුතු දේ ගැන ඇති කෘත්‍ය ඥානය ත්, එය සම්පූර්ණ කළ පසු ඇතිවන කෘත ඥානය ත්) පරිවර්ත තුනකින් යුතුව, දොළොස් ආකාරයකින් යුතුව, ඒ වූ සැටියෙන් ම ඥාන දර්ශනය ඉතා පිරිසිදු වූයේ ද, මහණෙනි, එකල්හී මම දෙවියන් සහිත වූ, මරුන් සහිත වූ, බඹුන් සහිත වූ, ශ්‍රමණබ්‍රාහ්මණයන් සහිත වූ, දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයෙහි අනුත්තර වූ සම්මා සම්බෝධිය විශේෂ කොට අවබෝධ කරගත් බවට ප්‍රතිඥා දුන්නෙමි.
මා හට ඥාන දර්ශනය පහළ වූයේ ය. මාගේ චිත්ත විමුක්තිය වෙනස් නොවෙයි. මේ අවසන් ඉපදීම යි. දැන් නැවත භවයක් නැත්තේ ය.”
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇති පස්දෙනෙකු ගෙන් යුක්ත වූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්තාහු ය.
මේ වෙය්‍යාකරණය වදාරණ කල්හී ආයුෂ්මත් කොණ්ඩඤ්ඤයන් වහන්සේට කෙලෙස් රහිත වූ, මලකඩ රහිත වූ, දහම් ඇස පහළ වූයේ ය. එනම්; ‘හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා ස්වභාවය ඇති යම්කිසිවක් ඇද්ද, ඒ සියල්ල හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යන ස්වභාවය ඇත්තේ ය’ යන කරුණ යි.
භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්ම චක්‍රය ප්‍රවර්තනය කළ කල්හී පොළොවවාසී දෙවිවරු ශබ්දයක් පැවැත්වූවාහු ය. ‘භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස ඉසිපතන මිගදායෙහි දී මේ අනුත්තර වූ ධර්ම චක්‍රය කරකවන ලද්දේ ය. ශ්‍රමණයෙකු විසින් වේවා, බ්‍රාහ්මණයෙකු විසින් වේවා, දෙවියෙකු විසින් වේවා, මාරයෙකු විසින් වේවා, බ්‍රහ්මයෙකු විසින් වේවා, ලෝකයෙහි වෙන කිසිවෙකු විසින් වේවා, එය ආපසු කරකැවිය නොහැක්කේ ය’ යි.
පොළොවවාසී දෙවිවරුන්ගේ ශබ්දය අසා චාතුම්මහාරාජික දෙවිවරු ශබ්දයක් පැවැත්වූවාහු ය. ‘භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස ඉසිපතන මිගදායෙහි දී මේ අනුත්තර වූ ධර්ම චක්‍රය කරකවන ලද්දේ ය. ශ්‍රමණයෙකු විසින් වේවා, බ්‍රාහ්මණයෙකු විසින් වේවා, දෙවියෙකු විසින් වේවා, මාරයෙකු විසින් වේවා, බ්‍රහ්මයෙකු විසින් වේවා, ලෝකයෙහි වෙන කිසිවෙකු විසින් වේවා, එය ආපසු කරකැවිය නොහැක්කේ ය’ යි.
චාතුම්මහාරාජික දෙවිවරුන්ගේ ශබ්දය අසා තව්තිසා දෙවිවරු ශබ්දයක් පැවැත්වූවාහු ය. ….(පෙ)…. තව්තිසා දෙවිවරුන්ගේ ශබ්දය අසා යාම දෙවිවරු ශබ්දයක් පැවැත්වූවාහු ය. ….(පෙ)…. යාම දෙවිවරුන්ගේ ශබ්දය අසා තුසිත දෙවිවරු ශබ්දයක් පැවැත්වූවාහු ය. ….(පෙ)…. තුසිත දෙවිවරුන්ගේ ශබ්දය අසා නිම්මාණරතී දෙවිවරු ශබ්දයක් පැවැත්වූවාහු ය. ….(පෙ)…. නිම්මාණරතී දෙවිවරුන්ගේ ශබ්දය අසා පරනිම්මිත වසවත්තී දෙවිවරු ශබ්දයක් පැවැත්වූවාහු ය. ….(පෙ)…. පරනිම්මිත වසවත්තී දෙවිවරුන්ගේ ශබ්දය අසා බ්‍රහ්මකායික දෙවිවරු ශබ්දයක් පැවැත්වූවාහු ය. ‘භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස ඉසිපතන මිගදායෙහි දී මේ අනුත්තර වූ ධර්ම චක්‍රය කරකවන ලද්දේ ය. ශ්‍රමණයෙකු විසින් වේවා, බ්‍රාහ්මණයෙකු විසින් වේවා, දෙවියෙකු විසින් වේවා, මාරයෙකු විසින් වේවා, බ්‍රහ්මයෙකු විසින් වේවා, ලෝකයෙහි වෙන කිසිවෙකු විසින් වේවා, එය ආපසු කරකැවිය නොහැක්කේ ය’ යනුවෙනි.
මෙසේ එකෙණෙහි, ඒ මොහොතෙහි යම්තාක් බ්‍රහ්මලෝක ඇද්ද, ඒ තාක් ඉහත කී ශබ්දය උස් ව පැනනැංගේ ය. මේ දසදහස් ලෝක ධාතුව ද කම්පා වූයේ ය. අතිශයින් කම්පා වූයේ ය. බලවත් ව කම්පා වූයේ ය. දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා ගිය අප්‍රමාණ වූ උදාර වූ ආලෝකයක් ද ලෝකයෙහි පැතිර ගියේ ය.
එකල්හී භාග්‍යවතුන් වහන්සේ උදානයක් පහළ කළ සේක.
“භවත් කොණ්ඩඤ්ඤ තෙමේ ඒකාන්තයෙන් අවබෝධ කළේ ය! භවත් කොණ්ඩඤ්ඤ තෙමේ ඒකාන්තයෙන් අවබෝධ කළේ ය!”
මෙසේ ආයුෂ්මත් කොණ්ඩඤ්ඤයන් වහන්සේට අඤ්ඤාකොණ්ඩඤ්ඤ යනුවෙන් ම මේ නාමය වූයේ ය.
සාදු! සාදු!! සාදු!!!
ධම්මචක්කප්පවත්තන සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_12-2-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M