සංයුත්ත නිකාය

මහා වග්ගෝ

12.4.1. සිංසපා සුත්තං

12.4.1. ඇට්ටේරියා වනයෙහි දී වදාළ දෙසුම

එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ නුවර ඇට්ටේරියා වනයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ බිම වැටී තිබුණු ඇට්ටේරියා කොළ ස්වල්පයක් ශ්‍රී හස්තයෙන් ගෙන භික්ෂූන් ඇමතූ සේක.

“මහණෙනි, ඒ කිමෙකැයි හඟිව් ද? ඉතා වැඩි කුමක් ද? මා විසින් අතින් ගන්නා ලද ස්වල්ප වූ ඇට්ටේරිය කොළ ද? ඇට්ටේරියා වනයෙහි ගස්වල යම්තාක් ඇති කොළ ද?”

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් අතින් ගන්නා ලද ඇට්ටේරියා කොළ ස්වල්පයකි. ටිකකි. එනමුත් යම් මේ ඇට්ටේරියා වනයෙහි ගස් මත කොළ ඇද්ද, ඒවා ම ඉතා බොහෝ ය.”

“එසෙයින් ම මහණෙනි, මා විසින් විශිෂ්ට නුවණින් අවබෝධ කොට ඔබලාට නොපවසන ලද යමක් ඇද්ද, එය ම ඉතා බොහෝ ය. පවසන ලද්දේ ස්වල්ප දෙයකි. මහණෙනි, කුමන කරුණක් නිසාවෙන් මා විසින් එය නොපවසන ලද්දේ ද? මහණෙනි, එය අර්ථයෙන් යුක්ත නොවෙයි. නිවන් මගට මුල් නොවෙයි. අවබෝධයෙන් කලකිරීම පිණිස නොපවතියි. විරාගය පිණිස නොපවතියි. නිරෝධය පිණිස නොපවතියි. සංසිඳීම පිණිස නොපවතියි. විශිෂ්ට ඥානය පිණිස නොපවතියි. සත්‍යාවබෝධය පිණිස නොපවතියි. නිවන පිණිස නොපවතියි. එහෙයින් මා විසින් එය නොකියන ලද්දේ ය.

මහණෙනි, මා විසින් පවසන ලද්දේ කුමක් ද? මහණෙනි, ‘මෙය දුක’ යි මා විසින් පවසන ලද්දේ ය. ‘මෙය දුකෙහි හටගැනීම’ යි මා විසින් පවසන ලද්දේ ය. ‘මෙය දුක් නිරුද්ධ වීම’ යි මා විසින් පවසන ලද්දේ ය. ‘මෙය දුක් නිරුද්ධවන්නා වූ ප්‍රතිපදාව’ යි මා විසින් පවසන ලද්දේ ය. මහණෙනි, කුමන කරුණක් නිසාවෙන් මා විසින් මෙය පවසන ලද්දේ ද? මහණෙනි, මෙය අර්ථයෙන් යුක්ත වෙයි. මෙය නිවන් මගට මුල් වෙයි. මෙය අවබෝධයෙන් කලකිරීම පිණිස පවතියි. විරාගය පිණිස පවතියි. නිරෝධය පිණිස පවතියි. සංසිඳීම පිණිස පවතියි. විශිෂ්ට ඥානය පිණිස පවතියි. සත්‍යාවබෝධය පිණිස පවතියි. නිවන පිණිස පවතියි. එහෙයින් මා විසින් මෙය කියන ලද්දේ ය.

එහෙයින් මහණෙනි, මෙය දුක යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුකෙහි හටගැනීම යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුක් නිරුද්ධ වීම යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.

සාදු! සාදු!! සාදු!!!

සිංසපා සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_12-4-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M