සංයුත්ත නිකාය

මහා වග්ගෝ

12.7.1. අඤ්ඤත්‍ර සුත්තං

12.7.1. මිනිස් ලොවෙන් අන් තැන්වල ඉපදීම ගැන වදාළ දෙසුම

එකල්හී භාග්‍යවතුන් වහන්සේ පස් බිඳක් නියසිළ මත රඳවා භික්ෂූන් ඇමතූ සේක.

“මහණෙනි, ඒ කිමෙකැයි හඟිව් ද? කුමක් ඉතා බොහෝ ද? මා විසින් නියසිළ මත රඳවන ලද යම් මේ පස් බිඳක් වෙයි නම්, එය ද? මේ මහා පොළොව ද?”

“ස්වාමීනී, යම් මේ මහපොළොව වෙයි ද මෙය ම ඉතාමත් බොහෝ ය. භාග්‍යවතුන් වහන්සේ විසින් නියසිළ මත රඳවා වදාළ යම් පස් බිඳක් ඇද්ද, මෙය ඉතා ස්වල්පයකි. භාග්‍යවතුන් වහන්සේ විසින් නියසිළ මත රඳවන ලද පස් බිඳ මහා පොළොව හා සසඳා බලද්දී සංඛ්‍යාවකට ද ගත නොහෙයි. සැසඳීමකට ද ගත නොහෙයි. ඉතා කුඩා කොටසකට ද ගත නොහෙයි.”

“එසෙයින් ම මහණෙනි, යම් සත්වයෝ මනුෂ්‍යයන් අතර උපදිත් ද, ඔවුහු අල්පයක් වෙති. එසේ නමුත් මනුෂ්‍යයන්ගෙන් වෙන් වූ වෙනත් තැන්වල උපදින යම් සත්වයෝ වෙත් නම්, ඔවුහු ම ඉතාමත් බොහෝ ය. එයට හේතුව කුමක් ද? මහණෙනි, චතුරාර්ය සත්‍යයන් නොදැක්ක නිසා ය. ඒ කවර සතරක් පිළිබඳ ව ද යත්;

දුක්ඛාර්ය සත්‍යය පිළිබඳ ව ය. දුක්ඛ සමුදය ආර්ය සත්‍යය පිළිබඳ ව ය. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය පිළිබඳ ව ය. දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යය පිළිබඳ ව ය.

එහෙයින් මහණෙනි, මෙය දුක යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය. ….(පෙ)…. මෙය දුක් නිරුද්ධවන්නා වූ මාර්ගය යැයි අවබෝධ කරනු පිණිස වීර්යය කළ යුත්තේ ය.

සාදු! සාදු!! සාදු!!!

අඤ්ඤත්‍ර සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_12-7-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M