සංයුත්ත නිකාය

මහා වග්ගෝ

2.1.3. සීල සුත්තං

2.1.3. සීලය ගැන වදාළ දෙසුම

මහණෙනි, යම් ඒ භික්ෂූහු සීලයෙන් යුක්ත වෙත් ද, සමාධියෙන් යුක්ත වෙත් ද, ප්‍රඥාවෙන් යුක්ත වෙත් ද, විමුක්තියෙන් යුක්ත වෙත් ද, විමුක්ති ඥාන දර්ශනයෙන් යුක්ත වෙත් ද, මහණෙනි, ඒ භික්ෂූන්ගේ දැකීම පවා බොහෝ උපකාර යැයි මම කියමි. මහණෙනි, ඒ භික්ෂූන්ට සවන්දීම පවා බොහෝ උපකාර යැයි මම කියමි. මහණෙනි, ඒ භික්ෂූන් වෙත එළඹීම පවා බොහෝ උපකාර යැයි මම කියමි. මහණෙනි, ඒ භික්ෂූන් ඇසුරු කිරීම පවා බොහෝ උපකාර යැයි මම කියමි. මහණෙනි, ඒ භික්ෂූන් පිළිබඳ ව සිහි කිරීම පවා බොහෝ උපකාර යැයි මම කියමි. මහණෙනි, ඒ භික්ෂූන් අනුව පැවිදි වීම පවා බොහෝ උපකාර යැයි මම කියමි. ඒ මක් නිසා ද යත්, මහණෙනි, එබඳු වූ භික්ෂූන්ගෙන් ධර්මය අසා කාය විවේකයෙනුත්, චිත්ත විවේකයෙනුත් යන මේ දෙවැදෑරුම් විවේකයෙන් යුතු ව වසන නිසා ය. ඔහු එසේ හුදෙකලාවෙහි වසමින් ඒ ධර්මය සිහි කරයි. නැවත නැවත විතර්ක කරයි.

මහණෙනි, යම් කලක භික්ෂුවක් එසේ හුදෙකලාවෙහි වසමින් ඒ ධර්මය සිහි කරයි ද, අනුවිතර්ක කරයි ද, එකල ඒ භික්ෂුව විසින් සති සම්බොජ්ඣංගය පටන් ගන්නා ලද්දේ වෙයි. යම් කලක භික්ෂුව සතිසම්බොජ්ඣංගය වඩයි ද, එකල භික්ෂුවගේ සතිසම්බොජ්ඣංගය වැඩීමෙන් සම්පූර්ණත්වයට යයි. ඔහු එසේ සිහියෙන් වාසය කරන්නේ ඒ ධර්මය ප්‍රඥාවෙන් විමසයි. ප්‍රඥාව හසුරුවයි. මැනැවින් විමසීමට පැමිණෙයි.

මහණෙනි, යම් කලක භික්ෂුවක් යම් සේ සිහියෙන් වසමින් ඒ ධර්මය ප්‍රඥාවෙන් විමසයි ද, හසුරුවයි ද, මැනැවින් විමසීමට පැමිණෙයි ද, එකල ඒ භික්ෂුව විසින් ධම්මවිචය සම්බොජ්ඣංගය පටන් ගන්නා ලද්දේ වෙයි. යම් කලක භික්ෂුව ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයි ද, එකල භික්ෂුවගේ ධම්මවිචය සම්බොජ්ඣංගය වැඩීමෙන් සම්පූර්ණත්වයට යයි. ඒ ධර්මය ප්‍රඥාවෙන් විමසන, ප්‍රඥාව හසුරුවන, මැනැවින් විමසීමට පැමිණෙන ඔහු තුළ වීර්යය පටන් ගන්නා ලද්දේ වෙයි. නොහැකිළුණේ වෙයි.

මහණෙනි, යම් කලක ඒ ධර්මය ප්‍රඥාවෙන් විමසන, ප්‍රඥාවෙන් හසුවරුවන, මැනැවින් විමසීමට පැමිණෙන භික්ෂුව තුළ වීර්යය පටන්ගන්නා ලද්දේ වෙයි ද, නොහැකිළුණේ වෙයි ද, එකල ඒ භික්ෂුව විසින් විරිය සම්බොජ්ඣංගය පටන් ගන්නා ලද්දේ වෙයි. යම් කලෙක භික්ෂුව විරිය සම්බොජ්ඣංගය වඩයි ද, එකල භික්ෂුව තුළ විරිය සම්බොජ්ඣංගය වැඩීමෙන් සම්පූර්ණත්වයට යයි. පටන්ගත් වීරිය ඇත්තහුට නිරාමිස ප්‍රීතිය උපදියි.

මහණෙනි, යම් කලෙක පටන්ගත් වීරිය ඇති භික්ෂුව තුළ නිරාමිස ප්‍රීතිය උපදියි ද, එකල භික්ෂුව විසින් ප්‍රීති සම්බොජ්ඣංගය පටන්ගන්නා ලද්දේ වෙයි. යම් කලෙක භික්ෂුව ප්‍රීති සම්බොජ්ඣංගය වඩයි ද, එකල භික්ෂුව තුළ ප්‍රීති සම්බොජ්ඣංගය වැඩීමෙන් සම්පූර්ණත්වයට යයි. ප්‍රීති මනස ඇත්තහුගේ කය ත් සැහැල්ලු වෙයි. සිත ත් සැහැල්ලු වෙයි.

මහණෙනි, යම් කලෙක ප්‍රීති සිතින් යුතු භික්ෂුවගේ කය ත් සැහැල්ලු වෙයි ද, සිත ත් සැහැල්ලු වෙයි ද, එකල භික්ෂුව විසින් පස්සද්ධි සම්බොජ්ඣංගය පටන්ගන්නා ලද්දේ වෙයි. යම් කලෙක භික්ෂුව පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයි ද, එකල භික්ෂුව තුළ පස්සද්ධි සම්බොජ්ඣංගය වැඩීමෙන් සම්පූර්ණත්වයට යයි. සැහැල්ලු කය ඇත්තහුට සැපයක් ඇත්තේ ය. සැප ඇත්තහුගේ සිත සමාධිමත් වෙයි.

මහණෙනි, යම් කලෙක සැහැල්ලු කයෙන් සැප සේ සිටින භික්ෂුවගේ සිත සමාධිමත් වෙයි ද, එකල භික්ෂුව විසින් සමාධි සම්බොජ්ඣංගය පටන් ගන්නා ලද්දේ වෙයි. යම් කලෙක භික්ෂුව සමාධි සම්බොජ්ඣංගය වඩයි ද, එකල භික්ෂුව තුළ සමාධි සම්බොජ්ඣංගය භාවනාවෙන් සම්පූර්ණත්වයට යයි. ඔහු එසේ සමාධිමත් වූ සිත දෙස මනාකොට මැදහත් ව බලන්නේ වෙයි.

මහණෙනි, යම් කලෙක භික්ෂුවක් එසේ සමාධිමත් වූ සිත දෙස මනාකොට මැදහත් ව බලන්නේ වෙයි ද, එකල භික්ෂුව විසින් උපේක්ෂා සම්බොජ්ඣංගය පටන්ගන්නා ලද්දේ වෙයි. යම් කලෙක භික්ෂුව උපේක්ෂා සම්බොජ්ඣංගය වඩයි ද, එකල භික්ෂුව තුළ උපේක්ෂා සම්බොජ්ඣංගය වැඩීමෙන් සම්පූර්ණත්වයට පත්වෙයි.

මහණෙනි, සප්ත බොජ්ඣංගයන් මෙසේ වැඩූ කල්හී, මෙසේ බහුල කළ කල්හී ප්‍රතිඵල සතක්, අනුසස් සතක් කැමති විය යුත්තේ ය. ඒ කවර ප්‍රතිඵල සතක් ද? කවර අනුසස් සතක් ද? යත්,

මෙලොව දී ම කලින් ම අරහත්වයට පත්වෙයි. ඉදින් මෙලොව දී කලින් ම අරහත්වයට පත් නොවෙයි නම්, එකල්හී මරණ කාලයෙහි අරහත්වයට පත්වෙයි. ඉදින් මෙලොවදී ම කලින් ම අරහත්වයට පත් නොවෙයි නම්, ඉදින් මරණ කාලයෙහි ත් අරහත්වයට පත් නොවෙයි නම්, එකල්හී පසක් වූ ඕරම්භාගිය සංයෝජනයන් ක්ෂය කිරීමෙන් අන්තරා පරිනිබ්බායී වෙයි.

ඉදින් මෙලොව දී ම කලින් ම අරහත්වයට පත් නොවෙයි නම්, ඉදින් මරණ කාලයේත් අරහත්වයට පත් නොවෙයි නම්, ඉදින් පසක් වූ ඕරම්භාගිය සංයෝජනයන් ක්ෂය කිරීමෙන් අන්තරා පරිනිබ්බායී නොවෙයි නම්, එකල්හී පසක් වූ ඕරම්භාගිය සංයෝජනයන් ක්ෂය කිරීමෙන් උපහච්ච පරිනිබ්බායී වෙයි.

ඉදින් මෙලොව දී ම කලින් ම අරහත්වයට පත් නොවෙයි නම්, ඉදින් මරණ කාලයේත් අරහත්වයට පත් නොවෙයි නම්, ඉදින් පසක් වූ ඕරම්භාගිය සංයෝජනයන් ක්ෂය කිරීමෙන් අන්තරා පරිනිබ්බායී නොවෙයි නම්, ඉදින් පසක් වූ ඕරම්භාගිය සංයෝජනයන් ක්ෂය කිරීමෙන් උපහච්ච පරිනිබ්බායී නොවෙයි නම්, එකල්හී පසක් වූ ඕරම්භාගීය සංයෝජනයන් ක්ෂය කිරීමෙන් අසංඛාර පරිනිබ්බායී වෙයි.

ඉදින් මෙලොව දී ම කලින් ම අරහත්වයට පත් නොවෙයි නම්, ඉදින් මරණ කාලයේත් අරහත්වයට පත් නොවෙයි නම්, ඉදින් පසක් වූ ඕරම්භාගිය සංයෝජනයන් ක්ෂය කිරීමෙන් අන්තරා පරිනිබ්බායී නොවෙයි නම්, ඉදින් පසක් වූ ඕරම්භාගිය සංයෝජනයන් ක්ෂය කිරීමෙන් උපහච්ච පරිනිබ්බායී නොවෙයි නම්, ඉදින් පසක් වූ ඕරම්භාගීය සංයෝජනයන් ක්ෂය කිරීමෙන් අසංඛාර පරිනිබ්බායී නොවෙයි නම්, එකල්හී පසක් වූ ඕරම්භාගීය සංයෝජනයන් ක්ෂය කිරීමෙන් සසංඛාර පරිනිබ්බායී වෙයි.

ඉදින් මෙලොව දී ම කලින් ම අරහත්වයට පත් නොවෙයි නම්, ඉදින් මරණ කාලයේත් අරහත්වයට පත් නොවෙයි නම්, ඉදින් පසක් වූ ඕරම්භාගිය සංයෝජනයන් ක්ෂය කිරීමෙන් අන්තරා පරිනිබ්බායී නොවෙයි නම්, ඉදින් පසක් වූ ඕරම්භාගිය සංයෝජනයන් ක්ෂය කිරීමෙන් උපහච්ච පරිනිබ්බායී නොවෙයි නම්, ඉදින් පසක් වූ ඕරම්භාගීය සංයෝජනයන් ක්ෂය කිරීමෙන් අසංඛාර පරිනිබ්බායී නොවෙයි නම්, ඉදින් පසක් වූ ඕරම්භාගීය සංයෝජනයන් ක්ෂය කිරීමෙන් සසංඛාර පරිනිබ්බායී නොවෙයි නම්, එකල්හී පසක් වූ ඕරම්භාගීය සංයෝජනයන් ක්ෂය කිරීමෙන් උද්ධංසෝත අකනිට්ඨගාමී වෙයි.

මහණෙනි, සප්ත බොජ්ඣංගයන් මෙසේ වැඩූ කල්හී, මෙසේ බහුල කළ කල්හී මේ ප්‍රතිඵල සත, අනුසස් සත කැමති විය යුත්තාහු ය.

සාදු! සාදු!! සාදු!!!

සීල සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_2-1-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M