එක් සමයක ආයුෂ්මත් උපවාන තෙරණුවෝ ද, ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ද කොසඹෑ නුවර ඝෝෂිතාරාමයෙහි වැඩවෙසෙති. එකල්හී ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ සවස් වරුවෙහි භාවනාවෙන් නැගිට ආයුෂ්මත් උපවාන තෙරුන් වෙත වැඩියහ. වැඩම කොට ආයුෂ්මත් උපවාන තෙරුන් සමඟ සතුටු වූහ. සතුටු විය යුතු සිහිකටයුතු පිළිසඳර නිමවා එකත්පස් ව වැඩහුන්හ. එකත් පස් ව වැඩහුන් ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ආයුෂ්මත් උපවාන තෙරුන්ට මෙය වදාළහ.
“ආයුෂ්මත් උපවානයෙනි, භික්ෂුවක් නුවණින් යුතු ව මෙනෙහි කිරීමෙන් ‘මෙසේ මා විසින් මැනැවින් අරඹන ලද සප්ත බොජ්ඣංගයෝ පහසු විහරණය පිණිස පවතිත්’ කියා තමා ම දැනගන්නේ ද?”
“ආයුෂ්මත් සාරිපුත්තයෙනි, භික්ෂුවක් නුවණින් යුතු ව මෙනෙහි කිරීමෙන් ‘මෙසේ මා විසින් මැනැවින් අරඹන ලද සප්ත බොජ්ඣංගයෝ පහසු විහරණය පිණිස පවතිත්’ කියා තමා ම දැනගන්නේ ය.
ආයුෂ්මත, භික්ෂුවක් සති සම්බොජ්ඣංගය පටන්ගන්නේ ‘මාගේ සිත ද මැනැවින් නිදහස් වුයේ ය. ථීනමිද්ධය ද මා තුළ සහමුලින් ම නැසුණේ ය. උද්ධච්ච කුක්කුච්චය ද මා විසින් මැනැවින් දුරු කරන ලද්දේ ය. වීරිය ද මා විසින් පටන් ගන්නා ලද්දේ ය. සිත නොහැකිළුණේ ය. මැනැවින් අවධානය යොමු කොට අරුත් සළකා මෙනෙහි කරමි’ යි දැනගනියි. ….(පෙ)…. ආයුෂ්මත භික්ෂුවක් උපේක්ඛා සම්බොජ්ඣංගය පටන්ගන්නේ ‘මාගේ සිත මැනැවින් නිදහස් වුයේ ය. ථීනමිද්ධය ද මා තුළ සහමුලින් ම නැසුණේ ය. උද්ධච්ච කුක්කුච්චය ද මා විසින් මැනැවින් දුරු කරන ලද්දේ ය. වීරිය ද මා විසින් පටන් ගන්නා ලද්දේ ය. සිත නොහැකිළුණේ ය. මැනැවින් අවධානය යොමු කොට අරුත් සළකා මෙනෙහි කරමි’ යි දැනගනියි.
මෙසේ ආයුෂ්මත් සාරිපුත්තයෙනි, භික්ෂුවක් නුවණින් යුතු ව මෙනෙහි කිරීමෙන් ‘මෙසේ මා විසින් මැනැවින් බලවත් කරන ලද සප්ත බොජ්ඣංගයෝ පහසු විහරණය පිණිස පවතිත්’ කියා තමා ම දැනගන්නේ ය.
සාදු! සාදු!! සාදු!!!
උපවාන සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_2-1-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M