මහණෙනි, හිරු මඬල නැග එන විට මුල් ම සළකුණ මෙය යි. මුල් ම නිමිත්ත මෙය යි. එනම් අරුණෝදය ඇතිවීම යි. මහණෙනි, එසෙයින් ම භික්ෂුවකට සප්ත බොජ්ඣංගයන් හටගැනීම පිණිස මුල් ම සළකුණ මෙය යි. මුල් ම නිමිත්ත මෙය යි. එනම් නුවණින් යුක්ත ව මෙනෙහි කිරීම යි.
මහණෙනි, නුවණින් යුක්ත ව මෙනෙහි කරන භික්ෂුව සප්ත බොජ්ඣංගයන් වඩන්නේ ය, සප්ත බොජ්ඣංගයන් බහුල කරන්නේ ය යන්න කැමති විය යුත්තේ ය. මහණෙනි, නුවණින් යුක්ත ව මෙනෙහි කරන භික්ෂුව සප්ත බොජ්ඣංගයන් දියුණු කරන්නේ කෙසේ ද? සප්ත බොජ්ඣංගයන් බහුල ව ප්‍රගුණ කරන්නේ කෙසේ ද?
මහණෙනි, මෙහිලා භික්ෂුව කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව, සති සම්බොජ්ඣංගය වඩයි. ….(පෙ)…. කාය චිත්ත විවේකයෙන් යුතු ව, විරාගී සිතින් යුතු ව, අකුසල් නිරුද්ධ කරන සිතින් යුතු ව, නිවනට නැඹුරු වූ සිතින් යුතු ව, උපේක්ෂා සම්බොජ්ඣංගය වඩයි.
මහණෙනි, නුවණින් යුක්ත ව මෙනෙහි කරන භික්ෂුව මෙසේ සප්ත බොජ්ඣංගයන් දියුණු කරන්නේ ය. සප්ත බොජ්ඣංගයන් බහුල ව ප්‍රගුණ කරන්නේ ය.
සාදු! සාදු!! සාදු!!!
දුතිය සුරිය සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_2-2-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M