එකල්හී ආයුෂ්මත් බාහිය තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියහ. ….(පෙ)…. එකත්පස් ව හුන් ආයුෂ්මත් බාහිය තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ.
“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේගෙන් යම් ධර්මයක් අසා මම තනි ව, හුදෙකලාව, අප්‍රමාදී ව, කෙලෙස් තවන වීරියෙන් යුතු ව, කාය ජීවිත දෙකෙහි අපේක්ෂා රහිත ව, වාසය කරන්නෙම් නම්, මා හට භාග්‍යවතුන් වහන්සේ එබඳු ධර්මයක් සංක්ෂේපයෙන් වදාරණ සේක් නම් යහපති.”
“එසේ වී නම් බාහිය, ඔබ කුසල් දහම්හි පටන් ගැනීම ම පිරිසිදු කරව. කුසල ධර්මයන්ගේ පටන් ගැනීම කුමක් ද? ඉතා පිරිසිදු සීලය ත්, ඍජු වූ දෘෂ්ටිය ත් ය.
බාහිය, යම් කලෙක ඔබගේ සීලය ඉතා පිරිසිදු වන්නේ ද, දෘෂ්ටිය ඍජු වන්නේ ද, එකල්හී ඔබ බාහිය, සීලය ඇසුරු කොට, සීලයෙහි පිහිටා සතර සතිපට්ඨානය වැඩිය යුත්තෙහි ය. ඒ කවර සතරක් ද යත්;
මෙහිලා ඔබ බාහිය කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, කය පිළිබඳ ව කායානුපස්සනාවෙන් වාසය කරව. විඳීම් පිළිබඳ ව ….(පෙ)…. සිත පිළිබඳ ව ….(පෙ)…. කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, ධර්මයන් පිළිබඳ ව ධම්මානුපස්සනාවෙන් වාසය කරව.
බාහිය, ඔබ යම් කලක සීලය ඇසුරු කොට, සීලයෙහි පිහිටා මේ සතර සතිපට්ඨානයන් මෙසේ වඩන්නෙහි නම් බාහිය, එකල්හී ඔබට යම් රැයක් හෝ දහවලක් හෝ පැමිණෙන්නේ ද, කුසල් දහම් පිළිබඳ ව දියුණුවක් ම කැමති විය යුත්තේ ය. පිරිහීමක් නම් නොවෙයි.”
එකල්හී ආයුෂ්මත් බාහිය තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගෙන අනුමෝදන් වී හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට, පැදකුණු කොට පිටත් ව ගියහ. එකල්හී ආයුෂ්මත් බාහිය තෙරණුවෝ තනි වී, හුදෙකලා වී, අප්‍රමාදී ව, කෙලෙස් තවන වීරිය ඇති ව, කාය ජීවිත දෙකෙහි අපේක්ෂා රහිත ව වාසය කරන්නේ නොබෝ කලකින් ම යම් කරුණක් උදෙසා කුලපුත්‍රයෝ මැනැවින් ගිහි ගෙයින් නික්ම බුදු සසුනෙහි පැවිදි වෙත් ද, ඒ බඹසරෙහි අවසානය වන අනුත්තර වූ අරහත්වය මේ ජීවිතයේ දී ම සිය විශිෂ්ට නුවණින් සාක්ෂාත් කොට පැමිණ වාසය කළහ. ‘ඉපදීම ක්ෂය විය. බඹසර වාසය නිමා විය. කළ යුත්ත කරන ලදී. නිවන පිණිස කළ යුතු අනෙකක් නැතැ’ යි දැනගත්හ. ආයුෂ්මත් බාහිය තෙරණුවෝ රහතන් වහන්සේලා අතර එක්තරා රහත් නමක් බවට පත්වූහ.
සාදු! සාදු!! සාදු!!!
බාහිය සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_3-2-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M