සංයුත්ත නිකාය

මහා වග්ගෝ

3.4.10. විභංග සුත්තං

3.4.10. විග්‍රහ කොට පවසා වදාළ දෙසුම

මහණෙනි, ඔබට සතිපට්ඨානයත්, සතිපට්ඨානය වැඩීමත්, සතිපට්ඨානය වැඩීම පිණිස ඇති ප්‍රතිපදාවත් ගැන දේශනා කරන්නෙමි. එය අසව්.

මහණෙනි, සතිපට්ඨානය යනු කුමක් ද? මහණෙනි, මෙහිලා භික්ෂුව කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, කය පිළිබඳ ව කායානුපස්සනාවෙන් වාසය කරයි. ….(පෙ)…. විඳීම් පිළිබඳ ව වේදනානුපස්සනාවෙන් වාසය කරයි. ….(පෙ)…. සිත පිළිබඳ ව චිත්තානුපස්සනාවෙන් වාසය කරයි. කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, ධර්මයන් පිළිබඳ ව ධම්මානුපස්සනාවෙන් වාසය කරයි. මහණෙනි, මෙය සතිපට්ඨානය යැයි කියනු ලැබේ.

මහණෙනි, සතිපට්ඨානය වැඩීම යනු කුමක් ද? මහණෙනි, මෙහිලා භික්ෂුව කය පිළිබඳ ව හටගන්නා ස්වභාවය දකිමින් කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට වාසය කරයි. කය පිළිබඳ ව නැසීයන ස්වභාවය දකිමින් කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට වාසය කරයි. කය පිළිබඳ ව හටගන්නා නැසීයන ස්වභාවය දකිමින් කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට වාසය කරයි. වේදනා පිළිබඳ හටගන්නා ස්වභාවය දකිමින් ….(පෙ)…. වේදනා පිළිබඳ නැසීයන ස්වභාවය දකිමින් ….(පෙ)…. වේදනා පිළිබඳ හටගන්නා නැසීයන ස්වභාවය දකිමින් ….(පෙ)…. සිත පිළිබඳ හටගන්නා ස්වභාවය දකිමින් ….(පෙ)…. සිත පිළිබඳ නැසීයන ස්වභාවය දකිමින් ….(පෙ)…. සිත පිළිබඳ හටගන්නා නැසීයන ස්වභාවය දකිමින් ….(පෙ)…. ධර්මයන් පිළිබඳ ව හටගන්නා ස්වභාවය දකිමින් කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට වාසය කරයි. ධර්මයන් පිළිබඳ ව නැසීයන ස්වභාවය දකිමින් කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට වාසය කරයි. ධර්මයන් පිළිබඳ ව හටගන්නා නැසීයන ස්වභාවය දකිමින් කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට වාසය කරයි. මහණෙනි, මෙය සතිපට්ඨානය වැඩීම යැයි කියනු ලැබේ.

මහණෙනි, සතිපට්ඨානය වැඩීම පිණිස ඇති ප්‍රතිපදාව කුමක් ද? ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. එනම් නිවැරදි දෘෂ්ටිය ය, නිවැරදි සංකල්පනා ය, නිවැරදි වචන භාවිතය ය, නිවැරදි කායික ක්‍රියා ය, නිවැරදි ජීවිකාව ය, නිවැරදි උත්සාහය ය, නිවැරදි සිහිය ය, නිවැරදි චිත්තේකාග්‍රතාවය ය. මහණෙනි, මෙය සතිපට්ඨානය වැඩීම පිණිස ඇති ප්‍රතිපදාව යැයි කියනු ලැබේ.

සාදු! සාදු!! සාදු!!!

විභංග සූත්‍රය නිමා විය.

සිව්වෙනි අනනුස්සුත වර්ගය අවසන් විය.

එහි පිළිවෙල උද්දානයයි :

අනනුස්සුත සූත්‍රය, විරාග සූත්‍රය, විරද්ධ සූත්‍රය, භාවිත සූත්‍රය, සතෝ සූත්‍රය, අඤ්ඤා සූත්‍රය, ඡන්ද සූත්‍රය, පරිඤ්ඤාත සූත්‍රය, භාවනා සූත්‍රය සහ විභංග සූත්‍රය වශයෙන් මෙහි සූත්‍ර දසයකි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_3-4-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M