එක් සමයෙක්හි ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේ සැවැත් නුවර සුතනු ඉවුරෙහි වැඩවෙසෙති. එකල්හී බොහෝ භික්ෂූහු ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේ වෙත එළැඹියහ. එළැඹ ආයුෂ්මත් අනුරුද්ධයන් සමඟ සතුටු වූහ. සතුටු විය යුතු පිළිසඳර කථාබහ නිමවා එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ඒ භික්ෂූහු ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේට මෙය පැවසූහ.
“ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේ කවර ධර්මයන් දියුණු කළ බැවින්, බහුල ව ප්‍රගුණ කළ බැවින් මහත් අභිඥා ඇති බවට පත් වූවාහු ද?”
“ඇවැත්නි, මම සතර සතිපට්ඨානයන් දියුණු කළ බැවින්, බහුල ව ප්‍රගුණ කළ බැවින් මහත් අභිඥා ඇති බවට පැමිණියෙමි. ඒ කවර සතරක් ද යත්;
ඇවැත්නි, මෙහිලා මම කෙලෙස් තවන වීරියෙන් යුතුව, නුවණින් යුතුව, සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරු කොට කයෙහි කායානුපස්සී ව වාසය කරමි. වේදනාවන්හි ….(පෙ)…. සිත පිළිබඳ ව ….(පෙ)…. කෙලෙස් තවන වීරියෙන් යුතුව, නුවණින් යුතුව, සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරු කොට ධර්මයන්හි ධම්මානුපස්සී ව වාසය කරමි.
ඇවැත්නි, මම මේ සතර සතිපට්ඨානයන් දියුණු කළ බැවින්, බහුල ව ප්‍රගුණ කළ බැවින් මහත් අභිඥා ඇති බවට පැමිණියෙමි.
ඇවැත්නි, මම මේ සතර සතිපට්ඨානයන් ම දියුණු කළ බැවින්, බහුල ව ප්‍රගුණ කළ බැවින් හීන ධර්මය හීන වශයෙන් අවබෝධ කළෙමි. මධ්‍යම ධර්මය මධ්‍යම වශයෙන් අවබෝධ කළෙමි. ප්‍රණීත ධර්මය ප්‍රණීත වශයෙන් අවබෝධ කළෙමි.”
සාදු! සාදු!! සාදු!!!
සුතනු සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_8-1-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M