සංයුත්ත නිකාය

මහා වග්ගෝ

8.2.1. සහස්ස සුත්තං

8.2.1. කල්ප දහසක් සිහි කිරීම ගැන වදාළ දෙසුම

එක් සමයෙක්හි ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේ සැවැත් නුවර ජේතවනය නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවෙසෙති. එකල්හී බොහෝ භික්ෂූහු ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේ වෙත එළැඹියාහු ය. එළැඹ ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේ සමඟ සතුටු වූවාහු ය. ….(පෙ)…. ආයුෂ්මත් අනුරුද්ධයන්ට මෙය පැවසූහ.

“ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේ කවර ධර්මයන් දියුණු කළ බැවින්, බහුල ව ප්‍රගුණ කළ බැවින් මහත් අභිඥා ඇති බවට පත් වූවාහු ද?”

“ඇවැත්නි, මම සතර සතිපට්ඨානයන් දියුණු කළ බැවින්, බහුල ව ප්‍රගුණ කළ බැවින් මහත් අභිඥා ඇති බවට පැමිණියෙමි. ඒ කවර සතරක් ද යත්;

ඇවැත්නි, මෙහි මම කෙලෙස් තවන වීරියෙන් යුතුව, නුවණින් යුතුව, සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරු කොට කයෙහි කායානුපස්සී ව වාසය කරමි. වේදනාවන්හි ….(පෙ)…. සිත පිළිබඳ ව ….(පෙ)…. කෙලෙස් තවන වීරියෙන් යුතුව, නුවණින් යුතුව, සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරු කොට ධර්මයන්හි ධම්මානුපස්සී ව වාසය කරමි.

ඇවැත්නි, මම මේ සතර සතිපට්ඨානයන් දියුණු කළ බැවින්, බහුල ව ප්‍රගුණ කළ බැවින් මහත් අභිඥා ඇති බවට පැමිණියෙමි.

ඇවැත්නි, මම මේ සතර සතිපට්ඨානයන් ම දියුණු කළ බැවින්, බහුල ව ප්‍රගුණ කළ බැවින් කල්ප දහසක් සිහි කරමි.”

සාදු! සාදු!! සාදු!!!

සහස්ස සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_8-2-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M