සැවැත් නුවර දී ය …..
මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ භික්ෂුව සිව් දිශාවේ කොතැනට ගිය ත් සුවසේ සිටින්නේ වෙයි. ඒ කවර කරුණු පසකින් ද යත්;
මහණෙනි, මෙහිලා භික්ෂුව සිල්වත් වෙයි. ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් සංවර වූයේ වෙයි. යහපත් ඇවතුම් පැවතුම් ඇති ව වසන්නේ වෙයි. අණුමාත්‍ර වූ වරදෙහි ත් බිය දකින සුළු ව සමාදන් වූ ශික්ෂාපදයන්හි හික්මෙන්නේ වෙයි.
ධර්මය බොහෝ සෙයින් අසන ලද්දේ වෙයි. ඒ ඇසූ දහම් ධරන්නේ වෙයි. ඒ ඇසූ දහම් සිත්හිලා රැස් කරගන්නේ වෙයි. යම් ඒ ධර්මයෝ කල්‍යාණ වූ පටන් ගැනීමෙකින් යුක්ත වෙත් ද, කල්‍යාණ වූ මැදකින් යුක්ත වෙත් ද, කල්‍යාණ වූ අවසානයකින් යුක්ත වෙත් ද, අර්ථ සහිත වෙත් ද, පැහැදිලි වචනයෙන් යුක්ත වෙත් ද, හැම ලෙසින් ම පිරිපුන් පිරිසිදු නිවන් මග පවසත් ද, එබඳු වූ ධර්මයෝ ඔහු විසින් බොහෝ කොට අසන ලද්දාහු ය. ධාරණය කරගන්නා ලද්දාහු ය. වචනයෙන් පිරිවහන ලද්දාහු ය. මනසින් විමසන ලද්දාහු ය. නුවණින් අවබෝධ කරන ලද්දාහු ය.
ලද දෙයින් සතුටු වන්නේ වෙයි. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස බෙහෙත් පිරිකර ආදිය ලැබුණු පමණකින් සතුටට පත්වන්නේ වෙයි.
ගැඹුරු චිත්ත දියුණුවෙන් යුතු මෙලොව දී ලැබෙන සැප විහරණ ඇති සතරක් වූ ධ්‍යානයන් කැමති සේ ලබන්නේ වෙයි. නිදුකින් ලබන්නේ වෙයි. බොහෝ සේ ලබන්නේ වෙයි.
ආශ්‍රවයන් ක්ෂය වීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත් මේ ජීවිතයේදී ම සිය විශිෂ්ට නුවණින් සාක්ෂාත් කොට එයට පැමිණ වසන්නේ වෙයි.
මහණෙනි, මේ පස් කරුණෙන් සමන්විත වූ භික්ෂුව සිව් දිශාවේ කොතැනට ගිය ත් සුවසේ සිටින්නේ වෙයි.
සාදු! සාදු!! සාදු!!!
චාතුද්දිස සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-3-1-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M