අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.3.2.1. කුලූපග සුත්තං

5.3.2.1. කුලයට පැමිණෙන භික්ෂුව ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය ……

මහණෙනි, පස් කරුණකින් යුක්ත වූ කුලූපග භික්ෂුව එම දායක පවුල් තුළ අප්‍රිය බවට ද, අමනාපයට ද, නොගරු බවට ද, අගෞරවයට ද පාත්‍ර වෙයි. ඒ කවර පසක් ද යත්;

තමා හා මිත්‍ර නොවූවන් කෙරෙහි විශ්වාස ඇත්තේ වෙයි. ප්‍රධානයෙකු නොවී සිටියදී අධිපතියෙකු සෙයින් විධාන කරන්නේ වෙයි. විසිරී නොගිය පවුල් විසුරුවීම සඳහා ඇසුරු කරන්නේ වෙයි. කනට ළං කොට රහසේ කතා කරන සුළු වූයේ වෙයි. බොහෝ දේ ඉල්ලන්නේ වෙයි.

මහණෙනි, මේ පස් කරුණෙන් යුක්ත වූ කුලූපග භික්ෂුව එම දායක පවුල් තුළ අප්‍රිය බවට ද, අමනාපයට ද, නොගරු බවට ද, අගෞරවයට ද පාත්‍රවෙයි.

මහණෙනි, පස් කරුණකින් යුක්ත වූ කුලූපග භික්ෂුව එම දායක පවුල් තුළ ප්‍රිය බවට ද, මනාපයට ද, ගරු බවට ද, ගෞරවයට ද පාත්‍ර වෙයි. ඒ කවර පසක් ද යත්;

තමා හා මිත්‍ර නොවූවන් කෙරෙහි විශ්වාස නැත්තේ වෙයි. ප්‍රධානයෙකු නොවී සිටියදී අධිපතියෙකු සෙයින් විධාන නොකරන්නේ වෙයි. විසිරී නොගිය පවුල් විසුරුවීම සඳහා ඇසුරු නොකරන්නේ වෙයි. කනට ළං කොට රහසේ කතා නොකරන සුළු වූයේ වෙයි. බොහෝ දේ නොඉල්ලන්නේ වෙයි.

මහණෙනි, මේ පස් කරුණෙන් යුක්ත වූ කුලූපග භික්ෂුව එම දායක පවුල් තුළ ප්‍රිය බවට ද, මනාපයට ද, ගරු බවට ද, ගෞරවයට ද පාත්‍ර වෙයි.

සාදු! සාදු!! සාදු!!!

කුලූපග සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-3-2-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M