අංගුත්තර නිකාය

අට්ඨක නිපාතෝ

8.1.1.1. මෙත්තානිසංස සුත්තං

8.1.1.1. මෛත්‍රී භාවනාවෙහි අනුසස් ගැන වදාළ දෙසුම

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනය නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හී භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි” යි කියා භික්ෂූන් අමතා වදාළ සේක. “පින්වතුන් වහන්සැ”යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

මහණෙනි, මෛත්‍රී චිත්ත සමාධිය හොඳින් පුරුදු කිරීමෙන්, දියුණු කිරීමෙන්, බහුල වශයෙන් ප්‍රගුණ කිරීමෙන්, පහසුවෙන් නැග යා හැකි රථයක් සේ පුරුදු කිරීමෙන්, පහසුවෙන් ලැග සිටිය හැකි තැනක් සේ පුරුදු කිරීමෙන්, මැනැවින් පිහිටුවා ගැනීමෙන්, නැවත නැවත කිරීමෙන්, ප්‍රබල අයුරින් පැවැත්වීමෙන් ආනිශංස අටක් කැමති විය යුත්තේ ය. ඒ කවර අටක් ද යත්;

සුවසේ නිදයි. සුවසේ අවදිවෙයි. පවිටු සිහින නොදකියි. මිනිසුන් හට ප්‍රිය වෙයි. අමනුෂ්‍යයන් හට ප්‍රිය වෙයි. දෙවියෝ රකිත්. ඔහුට ගින්නෙන් වේවා, වස විසෙන් වේවා, ආයුධයෙන් වේවා අනතුරු නොවෙයි. මරණයට පෙර යම්කිසි මාර්ගඵල විශේෂයක් ලබාගන්නට නොහැකි වුවහොත් බඹලොව උපදින්නේ වෙයි.

මහණෙනි, මෛත්‍රී චිත්ත සමාධිය හොඳින් පුරුදු කිරීමෙන්, දියුණු කිරීමෙන්, බහුල වශයෙන් ප්‍රගුණ කිරීමෙන්, පහසුවෙන් නැග යා හැකි රථයක් සේ පුරුදු කිරීමෙන්, පහසුවෙන් ලැග සිටිය හැකි තැනක් සේ පුරුදු කිරීමෙන්, මැනැවින් පිහිටුවා ගැනීමෙන්, නැවත නැවත කිරීමෙන්, ප්‍රබල අයුරින් පැවැත්වීමෙන් මෙම අටක් වූ ආනිශංසයන් කැමති විය යුත්තේ ය.

(ගාථා)

1. යමෙක් හොඳින් සිහිය උපදවාගෙන ප්‍රමාණ රහිත කොට මෙත් සිත වඩයි නම්, කෙලෙසුන්ගේ ක්ෂය වීම ද දකිනා ඔහුගේ සංයෝජනයෝ තුනී වෙති.

2. ඉදින් එක් ප්‍රාණියෙකු කෙරෙහි වත් දුෂ්ට සිතක් නැති ව මෙත් සිත වඩයි නම්, එකරුණෙන් හේ කුසල් කරන්නෙක් වෙයි. සියළු ප්‍රාණීන් කෙරෙහි සිතින් අනුකම්පා කරන ආර්ය තෙමේ බොහෝ පින් රැස් කරයි.

3. ඍෂිවරයෙක් හා සමාන වූ යම් දැහැමි රජෙක් ජන ප්‍රදේශ සතකින් යුතු මේ පොළෝ තලය දිනා සස්සමේධ, පුරිසමේධ, සම්මාපාස, වාචපෙය්‍ය, නිරග්ගල යන යාගයන් වශයෙන් දන් දෙමින් හැසිරෙත් ද,

4. මැනැවින් වඩන ලද මෙත් සිතින් ලැබෙන අනුසස් වලින් සොළොස් වන කලාවෙන් එක් කලාවක් තරම් වත්, ඒ යාගයන්ගේ විපාක නොවටියි. චන්ද්‍රාලෝකයෙන් සියලු තරු එළිය පරදවන සෙයිනි.

5. යමෙක් ප්‍රාණීන් නොනසයි ද, නොනස්සවයි ද, හානි නොකරයි ද, හානි නොකරවයි ද, සියළු සතුන් කෙරෙහි මෙත් සිත පවත්වයි ද, ඔහු තුළ කිසිවෙකු කෙරෙහි වෛරයක් නැත්තේ ය.

සාදු! සාදු!! සාදු!!!

මෙත්තානිසංස සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_8-1-1-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M