අංගුත්තර නිකාය

අට්ඨක නිපාතෝ

8.2.1.1. ගෝතමී සුත්තං

8.2.1.1. ප්‍රජාපතී ගෞතමියට වදාළ දෙසුම

එක් සමයක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කපිලවස්තුවෙහි නිග්‍රෝධාරාමයෙහි වැඩවසන සේක. එකල්හී මහා ප්‍රජාපතී ගෞතමිය භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියා ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හුන්නා ය. එකත්පස් ව හුන් මහාප්‍රජාපතී ගෞතමිය භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා ය.

“ස්වාමීනී, තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ධර්ම විනයෙහි ස්ත්‍රිය ගිහි ගෙයින් නික්ම අනගාරිකා පැවිද්ද ලබන්නී නම් යහපති.”

“ගෞතමිය, ඔය ඇති. තථාගතයන් වදාරණ ලද ධර්ම විනයෙහි ස්ත්‍රිය විසින් ගිහි ගෙයින් නික්ම ලබන අනගාරිකා පැවිද්ද ඔබට රුචි නොවේවා!”

දෙවන වතාවට ත් මහාප්‍රජාපතී ගෞතමිය භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා ය.

“ස්වාමීනී, තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ධර්ම විනයෙහි ස්ත්‍රිය ගිහි ගෙයින් නික්ම අනගාරිකා පැවිද්ද ලබන්නී නම් යහපති.”

“ගෞතමිය, ඔය ඇති. තථාගතයන් වදාරණ ලද ධර්ම විනයෙහි ස්ත්‍රිය විසින් ගිහි ගෙයින් නික්ම ලබන අනගාරිකා පැවිද්ද ඔබට රුචි නොවේවා!”

තෙවන වතාවට ත් මහාප්‍රජාපතී ගෞතමිය භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා ය.

“ස්වාමීනී, තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ධර්ම විනයෙහි ස්ත්‍රිය ගිහි ගෙයින් නික්ම අනගාරිකා පැවිද්ද ලබන්නී නම් යහපති.”

“ගෞතමිය, ඔය ඇති. තථාගතයන් වදාරණ ලද ධර්ම විනයෙහි ස්ත්‍රිය විසින් ගිහි ගෙයින් නික්ම ලබන අනගාරිකා පැවිද්ද ඔබට රුචි නොවේවා!”

ඉක්බිති මහා ප්‍රජාපතී ගෞතමිය ‘භාග්‍යවතුන් වහන්සේ තථාගත ප්‍රවිදිත ධර්ම විනයෙහි ස්ත්‍රිය විසින් ගිහි ගෙයින් නික්ම ලබන අනගාරිකා පැවිද්දට අවසර නොදෙන සේකැ’යි දුකට පත් වූවා, නොසතුටු වූවා, කඳුළු වැගිරුණු මුහුණ ඇත්තී, හඬන්නී භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට පැදකුණු කොට බැහැරට ගියා ය.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කපිලවස්තුවෙහි කැමති තාක් කල් වාසය කොට විශාලා මහනුවර බලා චාරිකාවෙහි වැඩි සේක. අනුපිළිවෙලින් චාරිකාවෙහි වඩිමින් විශාලා මහනුවරට වැඩි සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවර මහා වනයෙහි කූටාගාර ශාලාවෙහි වැඩවසන සේක.

ඉක්බිති මහාප්‍රජාපතී ගෞතමිය කෙස් සින්දවා මුඩු කරවාගෙන කසාවත් හැඳ, එලෙසින් ම වූ බොහෝ ශාක්‍ය ස්ත්‍රීන් සමඟ විශාලා මහනුවර බලා පිටත් වූවා ය. අනුපිළිවෙලින් පැමිණ විශාලා මහනුවර මහා වනයෙහි

කූටාගාර ශාලාවට පැමිණියා ය.

එකල්හී මහා ප්‍රජාපතී ගෞතමිය ඉදිමී ගිය පාදයන්ගෙන් යුක්ත ව දුහුවිලි වැකී ගිය සිරුරෙන් යුක්ත ව දුකට පත් වූවා, දොම්නස් වූවා, කඳුළු වැකුණු මුව ඇත්තී, හඬන්නී, දොරටුවෙන් බැහැර කොටුවෙහි සිටියා ය. ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ දුකට පත් ව, දොම්නස් ව, කඳුළු වැකුණු මුව ඇති ව, හඬමින් දොරටුවෙන් බැහැර කොටුවෙහි සිටින මහාප්‍රජාපතී ගෞතමිය දුටහ. දැක මහා ප්‍රජාපතී ගෞතමියට මෙය පැවසූහ.

“කිම, ගෞතමියෙනි, ඔබ කුමක් හෙයින් දුකට පත් ව, දොම්නස් ව, කඳුළු වැකුණු මුව ඇති ව, හඬමින් දොරටුවෙන් බාහිරව සිටින්නී ද?”

“එසේ ය. ස්වාමීනී, ආනන්දයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ තථාගත ප්‍රවිදිත ධර්ම විනයෙහි ස්ත්‍රිය විසින් ගිහි ගෙයින් නික්ම ලබන අනගාරිකා පැවිද්දට අවසර නොදෙන සේක.”

“එසේ වී නම් ගෞතමියෙනි, යම්තාක් මම භාග්‍යවතුන් වහන්සේ ගෙන් තථාගත ප්‍රවිදිත ධර්ම විනයෙහි ස්ත්‍රිය විසින් ගිහි ගෙයින් නික්ම ලබන අනගාරිකා පැවිද්දට ආයාචනා කරම් ද, ඒ තාක් මෙහි ම සිටුව.”

ඉක්බිති ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ තථාගත ප්‍රවිදිත ධර්ම විනයෙහි ස්ත්‍රිය විසින් ගිහි ගෙයින් නික්ම ලබන අනගාරිකා පැවිද්දට අවසර නොදෙන සේකැයි මහාප්‍රජාපතී ගෞතමිය දුකට පත් වූවා, නොසතුටු වූවා, කඳුළු වැගිරුණු මුහුණ ඇත්තී, හඬන්නී දොරටුවෙන් බැහැර කොටුවෙයි සිටියි.

ස්වාමීනී, තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ධර්ම විනයෙහි ස්ත්‍රිය ගිහි ගෙයින් නික්ම අනගාරිකා පැවිද්ද ලබන්නී නම් යහපති.”

“ආනන්දයෙනි, ඔය ඇති. තථාගතයන් වදාරණ ලද ධර්ම විනයෙහි ස්ත්‍රිය විසින් ගිහි ගෙයින් නික්ම ලබන අනගාරිකා පැවිද්ද ඔබට රුචි නොවේවා!”

දෙවන වතාවට ත් ….(පෙ)…. තුන්වෙනි වතාවට ත් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ.

“ස්වාමීනී, තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ධර්ම විනයෙහි ස්ත්‍රිය ගිහි ගෙයින් නික්ම අනගාරිකා පැවිද්ද ලබන්නී නම් යහපති.”

“ආනන්දයෙනි, ඔය ඇති. තථාගතයන් වදාරණ ලද ධර්ම විනයෙහි ස්ත්‍රිය විසින් ගිහි ගෙයින් නික්ම ලබන අනගාරිකා පැවිද්ද ඔබට රුචි නොවේවා!”

ඉක්බිති ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට මේ අදහස ඇතිවූයේ ය.

‘භාග්‍යවතුන් වහන්සේ තථාගත ප්‍රවිදිත ධර්ම විනයෙහි ස්ත්‍රිය විසින් ගිහි ගෙයින් නික්ම ලබන අනගාරිකා පැවිද්දට අවසර නොදෙන සේක. ඉදින් මම වෙනස් වූ ක්‍රමයකින් තථාගත ප්‍රවිදිත ධර්ම විනයෙහි ස්ත්‍රිය විසින් ගිහි ගෙයින් නික්ම ලබන අනගාරිකා පැවිද්ද උදෙසා භාග්‍යවතුන් වහන්සේට ආයාචනා කරන්නෙම් නම් යහපති.’

එකල්හී ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ.

“ස්වාමීනී, තථාගත ප්‍රවිදිත ධර්ම විනයෙහි ගිහිගෙයින් නික්ම අනගාරික ව පැවිදි බව ලැබූ ස්ත්‍රිය සෝවාන් ඵලය ද, සකදාගාමී ඵලය ද, අනාගාමී ඵලය ද, අරහත් ඵලය ද අත්දකින්නට සමර්ථ වන්නී ද?”

“ආනන්දයෙනි, තථාගත ප්‍රවිදිත ධර්ම විනයෙහි ගිහිගෙයින් නික්ම අනගාරික ව පැවිදි බව ලැබූ ස්ත්‍රිය සෝවාන් ඵලය ද, සකදාගාමී ඵලය ද, අනාගාමී ඵලය ද, අරහත් ඵලය ද අත්දකින්නට සමර්ථ වන්නී ය.”

“ඉදින් ස්වාමීනී, තථාගත ප්‍රවිදිත ධර්ම විනයෙහි ගිහිගෙයින් නික්ම අනගාරික ව පැවිදි බව ලැබූ ස්ත්‍රිය සෝවාන් ඵලය ද, සකදාගාමී ඵලය ද, අනාගාමී ඵලය ද, අරහත් ඵලය ද ලබන්නට සමර්ථ වන්නී නම්, ස්වාමීනී, මහාප්‍රජාපතී ගෞතමිය භාග්‍යවතුන් වහන්සේට බොහෝ උපකාරී වූවා ය. සුළුමව් වූවා ය. අත් පා වැඩුවා ය. පෝෂණය කළා ය. භාග්‍යවතුන් වහන්සේගේ මව් කළුරිය කළ කල්හී කිරි පෙව්වා ය. ස්වාමීනී, තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ධර්ම විනයෙහි ස්ත්‍රිය ගිහි ගෙයින් නික්ම අනගාරිකා පැවිද්ද ලබන්නී නම් යහපති.”

“ඉදින් ආනන්දයෙනි, මහාප්‍රජාපතී ගෞතමිය අෂ්ට ගරුධර්මයන් පිළිගන්නී නම් ඇයට එය ම උපසම්පදාව වේවා!

1. උපසම්පදාවෙන් සියවසක් ගෙවූ භික්ෂුණිය විසිනුත් එදින ම උපසම්පදා වූ භික්ෂුවට වන්දනා කිරීම්, දැක හුනස්නෙන් නැගිටීම්, ඇඳිලි බැඳ වැඳීම්, යහපත් වත් කිරීම් කළ යුත්තී ය. මේ ධර්මය ත් සත්කාර කොට, ගරු කොට, බුහුමන් කොට, පුදා දිවි ඇති තෙක් නොඉක්මවිය යුත්තී ය.

2. භික්ෂුණිය විසින් අවවාද දෙන භික්ෂුවක් නැති ආවාසයෙහි වස් නොඑළඹිය යුත්තී ය. මේ ධර්මය ත් සත්කාර කොට, ගරු කොට, බුහුමන් කොට, පුදා දිවි ඇති තෙක් නොඉක්මවිය යුත්තී ය.

3. භික්ෂුණිය අඩමසක් පාසා භික්ෂු සංඝයා වෙතින් ධර්මයන් දෙකක් ලැබිය යුත්තී ය. එනම් පොහොය කිරීම ගැන ඇසීම ත්, අවවාද ලැබීමට එළඹීම ත් ය. මේ ධර්මය ත් සත්කාර කොට, ගරු කොට, බුහුමන් කොට, පුදා දිවි ඇති තෙක් නොඉක්මවිය යුත්තී ය.

4. වස් වැසූ භික්ෂුණිය විසින් භික්ෂු, භික්ෂුණී උභය සංඝයා කෙරෙහි තම පිරිසිදු බව ගැන තුන් තැනකින් පැවරිය යුත්තී ය. දැකීමෙන්, ඇසීමෙන්, සැක කිරීමෙන් ය. මේ ධර්මය ත් සත්කාර කොට, ගරු කොට, බුහුමන් කොට, පුදා දිවි ඇති තෙක් නොඉක්මවිය යුත්තී ය.

5. බරපතල ඇවතකට පත් භික්ෂුණිය විසින් භික්ෂු, භික්ෂුණී උභය සංඝයා කෙරෙහි පක්ෂ මානත් පිරිය යුත්තී ය. මේ ධර්මය ත් සත්කාර කොට, ගරු කොට, බුහුමන් කොට, පුදා දිවි ඇති තෙක් නොඉක්මවිය යුත්තී ය.

6. දෙවසරක් සය ධර්මයක හික්මුණු ශික්ෂා ඇති සික්ඛමානාව විසින් භික්ෂු, භික්ෂුණී උභය සංඝයා කෙරෙහි උපසම්පදාව සෙවිය යුත්තී ය. මේ ධර්මය ත් සත්කාර කොට, ගරු කොට, බුහුමන් කොට, පුදා දිවි ඇති තෙක් නොඉක්මවිය යුත්තී ය.

7. භික්ෂුණිය විසින් කවර හෝ කරුණක් වෙනුවෙන් භික්ෂුවකට ආක්‍රෝශ නොකළ යුත්තේ ය. පරිභව නොකළ යුත්තේ ය. මේ ධර්මය ත් සත්කාර කොට, ගරු කොට, බුහුමන් කොට, පුදා දිවි ඇති තෙක් නොඉක්මවිය යුත්තී ය.

8. ආනන්දයෙනි, අද සිට භික්ෂුණීන් හට භික්ෂූන් කෙරෙහි අවවාද අනුශාසනා දීම ආදිය වැසුණේ ය. භික්ෂූන් හට භික්ෂුණීන් කෙරෙහි අවවාද අනුශාසනා දීම ආදිය නොවැසුණේ ය. මේ ධර්මය ත් සත්කාර කොට, ගරු කොට, බුහුමන් කොට, පුදා දිවි ඇති තෙක් නොඉක්මවිය යුත්තී ය.

ඉදින් ආනන්දයෙනි, මහාප්‍රජාපතී ගෞතමිය මේ අෂ්ට ගරු ධර්මයන් පිළිගනියි නම් ඇයට එය ම උපසම්පදාව වේවා!”

ඉක්බිති ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙතින් මේ අෂ්ට ගරු ධර්මයන් ඉගෙන මහාප්‍රජාපතී ගෞතමිය වෙත එළැඹියහ. එළැඹ මහාප්‍රජාපතී ගෞතමියට මෙය පැවසූහ.

“ඉදින් ගෞතමියෙනි, ඔබ මේ අෂ්ට ගරු ධර්මයන් පිළිගන්නී නම් ඔබට එය ම උපසම්පදාව වන්නේ ය.

උපසම්පදාවෙන් සියවසක් ගෙවූ භික්ෂුණිය විසිනුත් එදින ම උපසම්පදා වූ භික්ෂුවට වන්දනා කිරීම්, දැක හුනස්නෙන් නැගිටීම්, ඇඳිලි බැඳ වැඳීම්, යහපත් වත් කිරීම් කළ යුත්තී ය. මේ ධර්මය ත් සත්කාර කොට, ගරු කොට, බුහුමන් කොට, පුදා දිවි ඇති තෙක් නොඉක්මවිය යුත්තී ය. ….(පෙ)…. අද සිට භික්ෂුණීන් හට භික්ෂූන් කෙරෙහි අවවාද අනුශාසනා දීම ආදිය වැසුණේ ය. භික්ෂූන් හට භික්ෂුණීන් කෙරෙහි අවවාද අනුශාසනා දීම ආදිය නොවැසුණේ ය. මේ ධර්මය ත් සත්කාර කොට, ගරු කොට, බුහුමන් කොට, පුදා දිවි ඇති තෙක් නොඉක්මවිය යුත්තී ය.

ඉදින් ගෞතමියෙනි, ඔබ මේ අෂ්ට ගරු ධර්මයන් පිළිගන්නී නම් ඔබට එය ම උපසම්පදාව වන්නේ ය.”

“ස්වාමීනී, ආනන්දයන් වහන්ස, සැරසෙනු කැමති තරුණ යොවුන් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ හිස සෝදා ස්නානය කොට මහනෙල් මල් මාලාවක් හෝ දෑ සමන් මල් මාලාවක් හෝ අලුත් මල් මාලාවක් හෝ ලබා දෝතින් ම පිළිගෙන උත්තමාංගය වූ සිරස මත තබන්නේ යම් සේ ද, එසෙයින් ම ස්වාමීනී, දිවි හිමියෙන් නොඉක්මවිය යුතු වූ මේ අෂ්ට ගරු ධර්මයන් මම පිළිගනිමි.”

එවිට ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ.

“ස්වාමීනී, මහාප්‍රජාපතී ගෞතමිය විසින් දිවි හිමියෙන් කඩ නොකළ යුතු වූ අෂ්ට ගරු ධර්මයෝ පිළිගන්නා ලදහ.”

“ඉදින් ආනන්දයෙනි, තථාගත ප්‍රවිදිත ධර්ම විනයෙහි ස්ත්‍රිය ගිහි ගෙයින් නික්ම අනගාරික පැවිද්ද නොලැබුවා නම් ආනන්දයෙනි, සසුන් බඹසර බොහෝ කල් පවතිනු ඇත. දහස් වසරක් ම සද්ධර්මය පිහිටන්නේ ය. ආනන්දයෙනි, යම් කලක තථාගත ප්‍රවිදිත ධර්ම විනයෙහි ස්ත්‍රිය ගිහි ගෙයින් නික්ම සසුනට වැදගත්තී ද, ආනන්දයෙනි, දැන් සසුන් බඹසර බොහෝ කල් නොපවතින්නේ ය. ආනන්දයෙනි, දැන් සද්ධර්මය පන්සිය වසරක් ම පවතින්නේ ය.

ආනන්දයෙනි, එය මෙබඳු දෙයකි. බොහෝ ස්ත්‍රීන් ඇති, අල්ප වූ පුරුෂයන් ඇති, යම්කිසි පවුල් වෙත් නම්, කුම්භත්ථේනක නම් වූ කළයක් තුළ පහනක් දල්වා මැදියම් රැයෙහි බියගන්වා පැමිණෙන සොරුන් විසින් ඒ කුලයෝ පහසුවෙන් නැසිය හැකි වන්නාහු ය. එසෙයින් ම ආනන්දයෙනි, යම් ධර්ම විනය ස්ත්‍රිය ගිහි ගෙයින් නික්ම සසුනට වැදගත්තී ද, ඒ සසුන් බඹසර බොහෝ කල් නොපවතින්නේ ය.

ආනන්දයෙනි, එය මෙබඳු දෙයකි. සාරවත් හැල් වී කුඹුරක සේතට්ඨික නම් රෝගය ඇතිවෙයි ද, එවිට ඒ සාරවත් කුඹුර බොහෝ කල් පවතින්නේ නොවෙයි. එසෙයින් ම ආනන්දයෙනි, යම් ධර්ම විනය ස්ත්‍රිය ගිහි ගෙයින් නික්ම සසුනට වැදගත්තී ද, ඒ සසුන් බඹසර බොහෝ කල් නොපවතින්නේ ය.

ආනන්දයෙනි, එය මෙබඳු දෙයකි. සාරවත් උක් යායක උක් ගස් ඇතුළ රතු වෙන මඤ්ජෙට්ඨිකා නම් උක් රෝගයක් වැළඳෙයි ද, එවිට ඒ සාරවත් උක් යාය බොහෝ කල් පවතින්නේ නොවෙයි. එසෙයින් ම ආනන්දයෙනි, යම් ධර්ම විනය ස්ත්‍රිය ගිහි ගෙයින් නික්ම සසුනට වැදගත්තී ද, ඒ සසුන් බඹසර බොහෝ කල් නොපවතින්නේ ය.

ආනන්දයෙනි, යම් සේ පුරුෂයෙක් මහත් විලක දිය නොබැස යනු පිණිස වේලාසනින් ම නියර බඳින්නේ වෙයි ද, එසෙයින් ම ආනන්දයෙනි, මා විසින් වේලාසනින් ම භික්ෂුණීන් හට දිවි හිමියෙන් නොඉක්මවනු පිණිස අෂ්ට ගරු ධර්මයෝ පණවන ලද්දාහු ය.

සාදු! සාදු!! සාදු!!!

ගෝතමී සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_8-2-1-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M