අංගුත්තර නිකාය

අට්ඨක නිපාතෝ

8.2.1.2. භික්ඛුනෝවාදක සුත්තං

8.2.1.2. භික්ෂුණීන්ට අවවාද කරන්නා ගැන වදාළ දෙසුම

එක් සමයක භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවර මහාවනයෙහි කූටාගාර ශාලාවෙහි වැඩවසන සේක. එකල්හී ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ.

“ස්වාමීනි, කොපමණ කරුණුවලින් යුක්ත වූ භික්ෂුවක් ද, භික්ෂුණීන් හට අවවාද කිරීම පිණිස සම්මත කළ යුත්තේ?”

“ආනන්දයෙනි, අට කරුණකින් යුක්ත වූ භික්ෂුව භික්ෂුණීන්ට අවවාද කරන භික්ෂුවක් ලෙස සම්මත කළ යුත්තේ ය. ඒ කවර අට කරුණක් ද යත්;

ආනන්දයෙනි, මෙහිලා භික්ෂුව සිලවත් වෙයි. ….(පෙ)…. සමාදන් වූ සිල්පදවල හික්මෙයි. බහුශ්‍රැත වෙයි ….(පෙ)…. නුවණින් අවබෝධ කරන ලද්දේ ය. භික්ඛු – භික්ඛුණී ප්‍රාතිමෝක්ෂයෝ විස්තර වශයෙන්, විභාග වශයෙන්, යහපත් ලෙස පවත්වමින් සූත්‍ර වශයෙන් ද, ඛන්ධක පරිවාර වශයෙන් මනා විනිශ්චයෙන් යුතුව හොඳින් ප්‍රගුණ කරන ලද්දාහු ය. කල්‍යාණ වචන ඇත්තේ වෙයි. කල්‍යාණ වචන භාවිතය ඇත්තේ වෙයි. වැදගත් වචන ඇත්තේ වෙයි. නොවිසුරුණු වචන ඇත්තේ වෙයි. නිර්දෝෂී වචන ඇත්තේ වෙයි. අරුත් හඟවන වචන ඇත්තේ වෙයි. භික්ෂුණී සංඝයා හට දැහැමි කථාවෙන් කරුණු දක්වන්නට, සමාදන් කරවන්නට, උත්සාහවත් කරවන්නට, සතුටු කරවන්නට සමර්ථ වූ ප්‍රතිබල සම්පන්න වූයේ වෙයි. භික්ෂුණීන් හට බොහෝ සෙයින් ගෞරව සම්ප්‍රයුක්ත ලෙස ප්‍රිය මනාප වෙයි. භාග්‍යවතුන් වහන්සේ උදෙසා පැවිදි වූ කසාවත් පොරවන භික්ෂුණිය සමඟ බරපතල ආපත්තියකට නොපැමිණි විරූ වෙයි. උපසම්පදාවෙන් වසර විස්සක් හෝ එයට වැඩි වූ වසර ගණනක් පිරුණේ වෙයි.

ආනන්දයෙනි, මේ අට කරුණෙන් යුක්ත වූ භික්ෂුව භික්ෂුණීන්ට අවවාද කරන භික්ෂුවක් ලෙස සම්මත කළ යුත්තේ ය.”

සාදු! සාදු!! සාදු!!!

භික්ඛුනෝවාදක සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_8-2-1-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M