අංගුත්තර නිකාය

දසක නිපාතෝ

10.3.2.1. පඨම අධම්ම සුත්තං

10.3.2.1. අධර්මය ගැන වදාළ පළමු දෙසුම

“මහණෙනි, අධර්මය ත්, අයහපත ත් දත යුත්තේ ය. ධර්මය ත්, යහපත ත් දත යුත්තේ ය. අධර්මය ත්, අයහපත ත් දැන, ධර්මය ත්, යහපත ත් දැන යම් සේ ධර්මය වෙයි ද, යම් සේ යහපත වෙයි ද එසේ පිළිපැදිය යුත්තේ ය.

මහණෙනි, අධර්මය ත්, අයහපත ත් යනු කුමක්ද? එනම් වැරදි දෘෂ්ටිය ය, වැරදි සංකල්පනා ය, වැරදි වචන භාවිතය ය, වැරදි කායික ක්‍රියා ය, වැරදි ජීවිකාව ය, වැරදි උත්සාහය ය, වැරදි සිහිය ය, වැරදි චිත්තේකාග්‍රතාවය ය, වැරදි ඥානය ය, වැරදි විමුක්තිය ය. මහණෙනි, මෙය අධර්මය ත්, අයහපත ත් යැයි කියනු ලැබේ.

මහණෙනි, ධර්මය ත්, යහපත ත් යනු කුමක්ද? එනම් නිවැරදි දෘෂ්ටිය ය, නිවැරදි සංකල්පනා ය, නිවැරදි වචන භාවිතය ය, නිවැරදි කායික ක්‍රියා ය, නිවැරදි ජීවිකාව ය, නිවැරදි උත්සාහය ය, නිවැරදි සිහිය ය, නිවැරදි චිත්තේකාග්‍රතාවය ය, නිවැරදි ඥානය ය, නිවැරදි විමුක්තිය ය. මහණෙනි, මෙය ධර්මය ත්, යහපත ත් යැයි කියනු ලැබේ.

මහණෙනි, අධර්මය ත්, අයහපත ත් දත යුත්තේ ය. ධර්මය ත්, යහපත ත් දත යුත්තේ ය. අධර්මය ත්, අයහපත ත් දැන, ධර්මය ත්, යහපත ත් දැන යම් සේ ධර්මය වෙයි ද, යම් සේ යහපත වෙයි ද එසේ පිළිපැදිය යුත්තේ ය වශයෙන් යමක් කියන ලද්දේ ද, එය කියන ලද්දේ මෙකරුණ සඳහා ය.”

සාදු! සාදු!! සාදු!!!

පඨම අධම්ම සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-3-2-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M