(උදය)
නිරතුරුවම දැහැන් වඩන – කෙලෙසුන් රහිතව සිටිනා
සදහම් මග පිරිපුන් කළ – මතුවෙන්නට කෙලෙස් නොමැති
ලොවේ තිබෙන හැම දෙයක්ම-ගැන පරතෙර වෙතට වැඩිය
භගවත් මුනිඳාණන් වෙත – ආවෙමි මම පැන අසන්ට
අවිදු අඳුර සිඳ බිඳ හැර – ලබන විමුක්තිය පිළිබඳ
පහදා දෙනු මැනවි මටද
(භාග්‍යවතුන් වහන්සේ)
පින්වත් උදයෙනි ඔබ තුළ – කාම ගුණය ගැන පවතින
දොම්නස හා ආශාවද – යන දෙක බැහැරට දුරු කොට
මඩිමින් හැම අලස බවද – වළක්වමින් සැක කුකුස්ද
පිරිසිදුවට මැදහත් ලෙස – සිහිනුවණද ඇති කරගෙන
දහම් කල්පනාවෙන් යුතු – ජවයද පෙරටම කරගෙන
ලබාගත්ත විමුක්තිය ම – අවිදු අඳුර බිඳිනා බව
පවසා සිටිනෙමි ඔබ හට
(උදය)
මේ ලෝකේ සිටින සතුන් – බැඳී තිබෙන්නේ කුමටද?
එමෙන්ම මේ සියළු සතුන් – හැසිරෙන්නේ කුමක් මතද?
කවරක් නැති වුන විටක ද – “නිවුනා” යයි පවසන්නේ?
(භාග්‍යවතුන් වහන්සේ)
මේ ලෝකේ සිටින සතුන් – “ආශ්වාදයට” බැඳුනේ
එමෙන්ම මේ සියළු සතුන් – හැසිරෙන්නේ “විතර්ක” මත
තණ්හා නැති වුන කලටය – “නිවුනා” යයි පවසන්නේ
(උදය)
සිහිනුවණින් යුතු සමණා – සදහම් තුළ හැසිරෙන විට
කොහොමද මේ විඤ්ඤාණය – යන්නෙ සදහටම නැති වී?
(භාග්‍යවතුන් වහන්සේ)
තමා තුළ ද බාහිරව ද – ඇති වෙන හැම විඳීමක්ම
කිසිම අයුරකින් කිසිවිට – පිළිඅරගන්නේ නැතිවිට
සිහිනුවණින් මේ විලසින් – සදහම් තුළ හැසිරෙන විට
දුකින් මිදුන විඤ්ඤාණය – නැති වී යනු ඇත සදහට
උදය නිසා කළ දෙසුම මෙහි දහතුන් වැන්න වේ.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn2_5-13/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M