මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල ආයුෂ්මත් ආනන්ද තෙරුන් වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. එදා ආයුෂ්මත් ආනන්ද තෙරුන් උදේ වරුවේ සිවුරු පොරවා ගෙන, පාත්‍ර සිවුරු අරගෙන, සැවැත් නුවරට පිණ්ඩපාතේ වැඩියා. ආයුෂ්මත් වංගීසයන්ද උන්වහන්සේගේ පිටිපස්සෙන් වැඩියා.
අතරමගදී වංගීසයන්ට බඹසර ජීවිතය ගැන එපාවීමක් ඇතිවුනා. රාගය විසින් කුසල් සිත වැනසුවා. එතකොට ආයුෂ්මත් වංගීසයන් ආයුෂ්මත් ආනන්ද තෙරුන්ට ගාථාවකින් පැවසුවා.
“අනේ ගෞතමයන් වහන්ස, කාම රාගයෙන් මාව පිච්චෙනවා. මගේ මුළු සිතම කාමයෙන් පිච්චෙනවා. අනේ මට අනුකම්පා කරලා, මේ ගින්න නිවාගන්න ක්‍රමයක් කියා දෙන්න.”
(ආනන්ද තෙරුන්) :
“වැරදි ක්‍රමයට නෙව හඳුනගත්තෙ. ඒකයි ඔබේ මුළු හිතම පිච්චෙන්නෙ. රාගය මතුවෙන විදිහේ සුභ අරමුණු ගන්න එක දුරුකරන්න.
මේ සකස්වෙච්ච දේවල් අනුන්ගේ දෙයක් හැටියට බලන්න. දුකට අයිති දෙයක් හැටියට බලන්න. තමන්ගේ දෙයක් වශයෙන් බලන්න එපා! ඔය මහා රාග ගින්න ඉක්මනට නිවාගන්න. ආයෙ ආයෙමත් ඔය ගින්නට පිච්චෙන්නට එපා!
හොඳට සිත එකඟ කරගෙන, සමාධිමත් කරගෙන, අශුභය තුළමයි සිත පිහිටුවා ගන්න ඕන. කායානුපස්සනාව තුළම සිහිය පිහිටුවා ගන්න ඕන. සංසාරෙ ගැන හොඳටම කළකිරෙන්න ඕන.
නිමිති රහිත විදර්ශනාව වඩන්න. හිත ඇතුළෙ තිබෙන මානය උදුරලා දාන්න ඕන. මානයේ ස්වභාවය අවබෝධ වුනාම උපශාන්ත කෙනෙක් හැටියට හැසිරෙන්න පුළුවනි.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_8-1-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M