මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. එදා භාග්‍යවතුන් වහන්සේ “පින්වත් මහණෙනි” කියා භික්ෂුසංඝයා ඇමතුවා. “පින්වතුන් වහන්ස” කියලා ඒ භික්ෂූන් වහන්සේලාත් භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ ඒ මොහොතේදී මෙය වදාළා.
“පින්වත් මහණෙනි, ඉතා යහපත් වචනය කරුණු හතරකින් යුක්තයි. ඒවා නරක වචන නොවෙයි. වැරදි වචන නොවෙයි. නුවණැත්තන් ගරහන වචන නොවෙයි. ඒ කරුණු හතර මොනවාද?
පින්වත් මහණෙනි, මේ ශාසනයේ භික්ෂුව ඉතා හොඳ වචනමයි කියන්නෙ. නරක වචන කියන්නෙ නෑ. ධර්මයමයි කියන්නෙ. අධර්මය කියන්නෙ නෑ. ප්‍රිය වචනමයි කියන්නෙ. අප්‍රිය වචන කියන්නෙ නෑ. සත්‍යමයි කියන්නෙ. බොරු කියන්නෙ නෑ. පින්වත් මහණෙනි, ඉතා හොඳ වචනය ඔන්න ඔය කරුණු හතරෙන් යුක්තයි. ඒ වචනය නරක වචනයක් නොවෙයි. නිවැරදි වචනයක්. නුවණැත්තන් ගර්හා නොකරන වචනයක්.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා. මේ කරුණ වදාළ සුගත වූ ශාස්තෘන් වහන්සේ යළි මේ ගාථාවත් වදාළා.
“ශාන්ත වූ මුනිවරුමයි උතුම්, යහපත් වචන කියන්නෙ. ධර්මයමයි කියන්නෙ. අධර්මය කියන්නෙ නෑ. ඒක තමයි දෙවෙනි කරුණ. ප්‍රිය දෙයක්මයි කියන්නෙ. අප්‍රිය දෙයක් කියන්නෙ නෑ. ඒක තුන්වෙනි කරුණ. සත්‍යයක්මයි කියන්නෙ. බොරු කියන්නෙ නෑ. ඒක හතරවෙනි කරුණ.”
එතකොට ආයුෂ්මත් වංගීසයන් ආසනෙන් නැගිට්ටා. සිවුර ඒකාංශ කරගත්තා. භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරගත්තා. භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා. “භාග්‍යවතුන් වහන්ස, මට කාරණයක් වැටහෙනවා. සුගතයන් වහන්ස, මට කාරණයක් වැටහෙනවා.”
“පින්වත් වංගීස, ඔබට එය වැටහේවා!” කියල භාග්‍යවතුන් වහන්සේ වදාළා.
ඉතින් ආයුෂ්මත් වංගීසයන් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ භාග්‍යවතුන් වහන්සේට ප්‍රශංසා කෙරෙන මේ ගාථාවන් ප්‍රබන්ධ කළා.
“යම් වචනයකින් තමා පීඩා විඳින්නෙ නැත්නම්, අනුන්ටත් හිංසාවක් නැත්නම්, ඒ වචන තමයි කියන්න ඕන. අන්න ඒ වචන තමයි යහපත් වචන කියන්නෙ.
ප්‍රිය වචනමයි කිව යුත්තේ. ඒ වචන සතුටින් පිළිගන්නවා. පව් වචන අත්හැරලා, අනුන්ට කිව යුත්තේ ප්‍රිය වචනමයි.
ඇත්ත වශයෙන්ම සත්‍ය වචනමයි අමෘත වචනය. මේක සනාතන ධර්මයක්. ශාන්ත මුනිවරු සත්‍ය තුළත්, අර්ථය තුළත් පිහිටා ඉන්නවා කියලයි කියන්නෙ.
ඒ අමා නිවන ලබාගන්න බුදු සමිඳුන් නිර්භය වචන වදාළා. දුක් කෙළවර කරන ඒ වචන තමයි ලෝකයේ ශ්‍රේෂ්ඨතම වචන වන්නේ.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_8-1-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M