32. සැවැත් නුවරදී …………….
එදා කළාරඛත්තිය භික්ෂුව ආයුෂ්මත් සාරිපුත්ත තෙරුන් ළඟට පැමිණියා. පැමිණිලා පිළිසඳර කතා බහේ යෙදුණා. පිළිසඳර කතාවෙන් පස්සේ එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණ කළාරඛත්තිය භික්ෂුව ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට මේ විදිහට සැලකළා.
“ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්ස, මෝළියඵග්ගුන භික්ෂුව මේ ශාසනයේ ශික්ෂාපදවල හික්මීම ප්‍රතික්ෂේප කරලා, (සිවුරු හැරලා) ලාමක ගිහි බවට පත්වුණානේ. අනේ! ඒ ආයුෂ්මතුන් හට මේ බුදු සසුනෙන් පිළිසරණක් ලබාගන්න බැරිවුණානේ. ඒ වුණාට ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට නම් මේ බුදු සසුනේ පිළිසරණක් ලබාගන්න පුළුවන් වුණා.”
(ආයුෂ්මත් සාරිපුත්ත තෙරුන්) “ප්‍රිය ආයුෂ්මතුනි, මම නම් (මේ බුදු සසුන ගැන) සැක කරන්නේ නෑ.”
“ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, අනාගත උපත ගැන කොහොමද?”
“ප්‍රිය ආයුෂ්මතුනි, ඒ ගැනත් මම සැක කරන්නේ නෑ.”
එතකොට කළාරඛත්තිය භික්ෂුව ඒ ආසනයෙන් නැගිට්ටා. භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා. ගිහින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණ කළාරඛත්තිය භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.
“ස්වාමීනී, ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ අරහත්වය ප්‍රකාශ කළා. ඉපදීම ක්ෂය වුණාලු. බඹසර වාසය සම්පූර්ණ කළාලු. කළ යුතු දේ කළාලු. ආයෙමත් වෙන කළ යුතු දෙයක් නැති බව දන්නවාලු.”
ඒ මොහොතේ භාග්‍යවතුන් වහන්සේ එක්තරා භික්ෂුවකට අමතා වදාළා. “පින්වත් භික්ෂුව, මෙහි එන්න. මගේ වචනයෙන් සාරිපුත්තයන් අමතන්න. ‘ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්ස, අන්න ශාස්තෘන් වහන්සේ ඔබට අමතා වදාළා’ කියලා.” “එසේය, ස්වාමීනී” කියල ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දීලා ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ළඟට ගියා. ගිහින් ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට මෙහෙම කිව්වා. “ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්ස, අන්න ශාස්තෘන් වහන්සේ ඔබට අමතා වදාළා” කියලා.
එතකොට ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ “එසේය, ආයුෂ්මතුනි” කියලා ඒ භික්ෂුවට පිළිතුරු දීලා භාග්‍යවතුන් වහන්සේ ළඟට වැඩියා. වැඩම කරලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේගෙන් භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට අසා වදාළා.
“හැබෑද පින්වත් සාරිපුත්තයෙනි, ඔබ අරහත්වය ප්‍රකාශ කළා කියන්නේ? ඉපදීම ක්ෂය වුනාලු. බඹසර වාසය සම්පූර්ණ කළාලු. කළ යුතු දේ කළාලු. ආයෙමත් වෙන කළයුතු දෙයක් නැති බව දන්නවලු කියල.”
“ස්වාමීනී, ඔය වචනවලින්, ඔය කියුම්වලින් මං අරහත්වය ප්‍රකාශ කළේ නෑ. නමුත් මං ඒ අර්ථය මතුවෙන විදිහට කිව්වා.”
“පින්වත් සාරිපුත්ත, මේ සසුනේ කුලපුත්‍රයා යම්කිසි ක්‍රමයකින් අරහත්වය ප්‍රකාශ කරනවා තමයි. නමුත් තමන් ප්‍රකාශ කරපු දෙය ප්‍රකාශ කරපු බව දැනගත යුතුයි.”
“ස්වාමීනී, මම මේ විදිහටවත් නොකිව යුතුද? ‘ස්වාමීනී, ඔය වචනවලින් ඔය කියුම්වලින් මං අරහත්වය ප්‍රකාශ කළේ නෑ. නමුත් මං ඒ අර්ථය මතුවෙන විදිහට කිව්වා’ කියලා.”
“එහෙම නම් පින්වත් සාරිපුත්ත, ඔබෙන් මෙන්න මේ විදිහට ඇහුවොත්, ‘ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්ස, ඉපදීම ක්ෂය වුණා, බඹසර වාසය සම්පූර්ණ කළා, කළ යුතු දේ කළා, ආයෙමත් වෙන කළ යුතු දෙයක් නැති බව දන්නවා කියල අරහත්වය ප්‍රකාශ කරන්නෙ කොහොම දැනගෙනද? කොහොම දැකගෙනද?’ කියලා. ඔය විදිහට අසද්දී පින්වත් සාරිපුත්ත, ඔබ කොහොමද පිළිතුරු දෙන්නේ?”
“ස්වාමීනී, මගෙන් කවුරුහරි කෙනෙක් මෙන්න මේ විදිහට ඇහුවොත්, ‘ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්ස, ඉපදීම ක්ෂය වුණා, බඹසර වාසය සම්පූර්ණ කළා, කළ යුතු දේ කළා, ආයෙමත් වෙන කළ යුතු දෙයක් නැති බව දන්නවා කියල අරහත්වය ප්‍රකාශ කරන්නෙ කොහොම දැනගෙනද? කොහොම දැකගෙනද?’ කියලා. ඔය විදිහට අසද්දී භාග්‍යවතුන් වහන්ස, මං පිළිතුරු දෙන්නේ මෙහෙමයි.
ප්‍රිය ආයුෂ්මතුනි, ඉපදීමට යමක් මුල් වුණාද, අන්න ඒ ඉපදීමට මුල් වුණ කාරණය ක්ෂය වීමෙන්, ඉපදීම ක්ෂය වෙච්ච බව මට අවබෝධ වුණා. (ඉපදීමට මුල් වුණ කාරණය) ක්ෂය වුණ නිසා ක්ෂය වුණ බව අවබෝධ වෙලයි ‘ඉපදීම ක්ෂය වුණා, බඹසර වාසය සම්පූර්ණ කළා, කළ යුතු දේ කළා, ආයෙමත් වෙන කළ යුතු දෙයක් නෑ’ කියල කියන්නේ. ස්වාමීනී, ඔය විදිහට ඇහුවොත් මං මෙහෙම තමයි උත්තර දෙන්නේ.”
“එතකොට පින්වත් සාරිපුත්ත, ඔබෙන් මේ විදිහට ඇහුවොත්, ‘ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්ස, ඔය ඉපදීම තියෙන්නේ කුමක මුල් කොට ගෙනද? කුමක හටගැනීමෙන්ද? කුමක ඉපදීමෙන්ද? කුමක ප්‍රභවයෙන්ද?’ කියලා පින්වත් සාරිපුත්ත, ඔය ප්‍රශ්නයේදී ඔබ උත්තර දෙන්නේ කොහොමද?”
“ස්වාමීනී, කවුරුහරි කෙනෙක් මගෙන් මෙහෙම ඇහුවොත්, ‘ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්ස, ඔය ඉපදීම තියෙන්නේ කුමක මුල් කොට ගෙනද? කුමක හටගැනීමෙන්ද? කුමක ඉපදීමෙන්ද? කුමක ප්‍රභවයෙන්ද?’ කියලා, ස්වාමීනී, මං එතකොට මේ විදිහට උත්තර දෙනවා.
‘ප්‍රිය ආයුෂ්මතුනි, භවය මුල් කරගෙනයි, භවය හටගැනීමෙනුයි, භවය ඉපදීමෙනුයි, භවය ප්‍රභවය වීමෙනුයි ඉපදීම තියෙන්නේ’ කියලා. ස්වාමීනී, ඔන්න ඔය විදිහටයි ඔය ප්‍රශ්නයට උත්තර දෙන්නේ.”
“එතකොට පින්වත් සාරිපුත්ත, ඔබෙන් මේ විදිහට ඇහුවොත්, ‘ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්ස, ඔය භවය තියෙන්නේ කුමක මුල් කොට ගෙනද? කුමක හටගැනීමෙන්ද? කුමක ඉපදීමෙන්ද? කුමක ප්‍රභවයෙන්ද?’ කියලා පින්වත් සාරිපුත්ත, ඔය ප්‍රශ්නයේදී ඔබ උත්තර දෙන්නේ කොහොමද?”
“ස්වාමීනී, කවුරුහරි කෙනෙක් මගෙන් මෙහෙම ඇහුවොත්, ‘ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්ස, ඔය භවය තියෙන්නේ කුමක් මුල් කොට ගෙනද? කුමක් හටගැනීමෙන්ද? කුමක් ඉපදීමෙන්ද? කුමක් ප්‍රභවයෙන්ද?’ කියලා, ස්වාමීනී, මං එතකොට මේ විදිහට උත්තර දෙනවා.
‘ප්‍රිය ආයුෂ්මතුනි, උපාදාන මුල් කරගෙනයි, උපාදාන හටගැනීමෙනුයි, උපාදාන ඉපදීමෙනුයි, උපාදාන ප්‍රභවය වීමෙනුයි භවය තියෙන්නේ’ කියලා. ස්වාමීනී, ඔන්න ඔය විදිහටයි ඔය ප්‍රශ්නයට උත්තර දෙන්නේ.”
“එතකොට පින්වත් සාරිපුත්ත, ඔබෙන් මේ විදිහට ඇහුවොත්, ‘ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්ස, ඔය උපාදාන තියෙන්නේ කුමක් මුල් කොට ගෙනද? කුමක් හටගැනීමෙන්ද? කුමක් ඉපදීමෙන්ද? කුමක් ප්‍රභවයෙන්ද?’ කියලා පින්වත් සාරිපුත්ත, ඔය ප්‍රශ්නයේදී ඔබ උත්තර දෙන්නේ කොහොමද?”
“ස්වාමීනී, කවුරුහරි කෙනෙක් මගෙන් මෙහෙම ඇහුවොත්, ‘ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්ස, ඔය උපාදාන තියෙන්නේ කුමක් මුල් කොට ගෙනද? කුමක් හටගැනීමෙන්ද? කුමක් ඉපදීමෙන්ද? කුමක් ප්‍රභවයෙන්ද?’ කියලා, ස්වාමීනී, මං එතකොට මේ විදිහට උත්තර දෙනවා.
‘ප්‍රිය ආයුෂ්මතුනි, තණ්හාව මුල් කරගෙනයි, තණ්හාව හටගැනීමෙනුයි, තණ්හාව ඉපදීමෙනුයි, තණ්හාව ප්‍රභවය වීමෙනුයි උපාදාන තියෙන්නේ’ කියලා. ස්වාමීනී, ඔන්න ඔය විදිහටයි ඔය ප්‍රශ්නයට උත්තර දෙන්නේ.”
“එතකොට පින්වත් සාරිපුත්ත, ඔබෙන් මේ විදිහට ඇහුවොත්, ‘ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්ස, ඔය තණ්හාව තියෙන්නේ කුමක් මුල් කොට ගෙනද? කුමක් හටගැනීමෙන්ද? කුමක් ඉපදීමෙන්ද? කුමක් ප්‍රභවයෙන්ද?’ කියලා පින්වත් සාරිපුත්ත, ඔය ප්‍රශ්නයේදී ඔබ උත්තර දෙන්නේ කොහොමද?”
“ස්වාමීනී, කවුරුහරි කෙනෙක් මගෙන් මෙහෙම ඇහුවොත්, ‘ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්ස, ඔය තණ්හාව තියෙන්නේ කුමක් මුල් කොට ගෙනද? කුමක් හටගැනීමෙන්ද? කුමක් ඉපදීමෙන්ද? කුමක් ප්‍රභවයෙන්ද?’ කියලා, ස්වාමීනී, මං එතකොට මේ විදිහට උත්තර දෙනවා.
‘ප්‍රිය ආයුෂ්මතුනි, විඳීම මුල් කරගෙනයි, විඳීම හටගැනීමෙනුයි, විඳීම ඉපදීමෙනුයි, විඳීම ප්‍රභවය වීමෙනුයි තණ්හාව තියෙන්නේ’ කියලා. ස්වාමීනී, ඔන්න ඔය විදිහටයි ඔය ප්‍රශ්නයට උත්තර දෙන්නේ.”
“එතකොට පින්වත් සාරිපුත්ත, ඔබෙන් මේ විදිහට ඇහුවොත්, ‘ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්ස, ඔය විඳීම තියෙන්නේ කුමක් මුල් කොට ගෙනද? කුමක් හටගැනීමෙන්ද? කුමක් ඉපදීමෙන්ද? කුමක් ප්‍රභවයෙන්ද?’ කියලා පින්වත් සාරිපුත්ත, ඔය ප්‍රශ්නයේදී ඔබ උත්තර දෙන්නේ කොහොමද?”
“ස්වාමීනී, කවුරුහරි කෙනෙක් මගෙන් මෙහෙම ඇහුවොත්, ‘ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්ස, ඔය විඳීම තියෙන්නේ කුමක් මුල් කොට ගෙනද? කුමක් හටගැනීමෙන්ද? කුමක් ඉපදීමෙන්ද? කුමක් ප්‍රභවයෙන්ද?’ කියලා, ස්වාමීනී, මං එතකොට මේ විදිහට උත්තර දෙනවා.
‘ප්‍රිය ආයුෂ්මතුනි, ස්පර්ශය මුල් කරගෙනයි, ස්පර්ශය හටගැනීමෙනුයි, ස්පර්ශය ඉපදීමෙනුයි, ස්පර්ශය ප්‍රභවය වීමෙනුයි විඳීම තියෙන්නේ’ කියලා. ස්වාමීනී, ඔන්න ඔය විදිහටයි ඔය ප්‍රශ්නයට උත්තර දෙන්නේ.”
“එතකොට පින්වත් සාරිපුත්ත, ඔබෙන් කවුරුහරි මෙහෙම ඇහුවොත්, ‘ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්ස, විඳීම් පිළිබඳව යම් ආසාවක් ඇත්නම්, අන්න ඒ ආසාව නොපිහිටන්නේ කොහොම දැනගන්නා විටද? කොහොම දැකගන්නා විටද?’ කියලා පින්වත් සාරිපුත්ත, ඔය ප්‍රශ්නයට ඔබට උත්තර දෙන්නේ කොහොමද?”
“ස්වාමීනී, මගෙන් කවුරුහරි මෙහෙම ඇහුවොත්, ‘ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්ස, විඳීම් පිළිබඳව යම් ආසාවක් ඇත්නම්, අන්න ඒ ආසාව නොපිහිටන්නේ කොහොම දැනගන්නා විටද? කොහොම දැකගන්නා විටද?’ කියලා, මං ඔය ප්‍රශ්නයට මෙහෙම උත්තර දෙනවා.
‘ප්‍රිය ආයුෂ්මතුනි, විඳීම් තුනක් තියෙනවා. මොනවද ඒ විඳීම් තුන? එනම් සැප විඳීම, දුක් විඳීම, දුක් සැප රහිත (මැදහත්) විඳීම යන තුනයි. ප්‍රිය ආයුෂ්මත්නි, මේ විඳීම් තුනම අනිත්‍යයයි. යමක් අනිත්‍ය නම් ඒක දුකක් බව අවබෝධ වුණා. එම නිසා විඳීම් පිළිබඳව යම් ආසාවක් තිබුණාද, එය දැන් පිහිටන්නේ නෑ.’ ස්වාමීනී, ඔය ප්‍රශ්නයට මං ඔය විදිහට තමයි උත්තර දෙන්නේ.”
“සාදු! සාදු! පින්වත් සාරිපුත්ත, විඳින්නා වූ යම්කිසි විඳීමක් ඇද්ද, ඒක දුකක්ය යන අර්ථය හකුළුවා පැවසීමට ඕකත් ක්‍රමයක් තමයි.
එතකොට පින්වත් සාරිපුත්ත, කවුරු හරි ඔබෙන් මෙහෙම ඇහුවොත්, ‘ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්ස, ඉපදීම ක්ෂය වුණා, බඹසර වාසය සම්පූර්ණ කළා, කළ යුතු දේ කළා, ආයෙමත් වෙන උපතක් නැති බව දන්නවා’කියලා අරහත්වය ප්‍රකාශ කළේ කොයි ආකාර විමෝක්ෂයකින්ද?’ කියලා ඔය ප්‍රශ්නයට පින්වත් සාරිපුත්ත, ඔබ උත්තර දෙන්නේ කොහොමද?”
“ස්වාමීනී, කවුරු හරි මගෙන් මෙහෙම ඇහුවොත්, ‘ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්ස, ඉපදීම ක්ෂය වුණා, බඹසර වාසය සම්පූර්ණ කළා, කළ යුතු දේ කළා, ආයෙමත් වෙන උපතක් නැති බව දන්නවා කියලා අරහත්වය ප්‍රකාශ කළේ කොයි ආකාර විමෝක්ෂයකින්ද?’ කියලා, ස්වාමීනී, මං ඒකට උත්තර දෙන්නෙ මෙහෙමයි.
‘ප්‍රිය ආයුෂ්මතුනි, හැම උපාදානයක්ම ක්ෂය වීම නිසා මම ආධ්‍යාත්මය තුළ විමෝක්ෂයට (නිවනට) පත්වෙලා ඉන්නවා. යම් විදිහකින් සිහියෙන් වාසය කරද්දී ආශ්‍රවයන් පවතින්නේ නැත්නම්, අන්න ඒ විදිහට තමයි මම සිහියෙන් ඉන්නේ. තමන්ට අවමන් කරගැනීමක් මා තුළ නෑ’ කියලා. ස්වාමීනී, මං ඔය විදිහටයි ඔය ප්‍රශ්නයට උත්තර දෙන්නේ.”
“සාදු! සාදු! පින්වත් සාරිපුත්ත, (ශාක්‍ය මුනීන්ද්‍ර වූ) ශ්‍රමණයන් වහන්සේ ආශ්‍රව කියා යමක් වදාළා ද, ඒ ආශ්‍රව ගැන මං සැක කරන්නේ නෑ. ඒ ආශ්‍රවයන් මට ප්‍රහාණය වී තිබෙන බවත් මං සැක කරන්නේ කියලා. පින්වත් සාරිපුත්ත, ඔය කාරණයෙහි අර්ථය මේ විදිහටත් හකුළුවා කියන්නට පුළුවනි.” භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා. මෙය වදාළ සුගතයන් වහන්සේ අසුනෙන් නැගිටලා කුටියට වැඩියා.
භාග්‍යවතුන් වහන්සේ වැඩිය නොබෝ වේලාවකින් ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ භික්ෂූන් ඇමතුවා.
“ප්‍රිය ආයුෂ්මත්වරුනි, භාග්‍යවතුන් වහන්සේ මගෙන් අසා වදාළේ මං කලින් හිතුපු නැති ප්‍රශ්නයක්. ඉතින් ඒ වේලාවේ මට පොඩි පසුබෑමක් නම් ඇතිවුණා. නමුත් ප්‍රිය ආයුෂ්මත්වරුනි, ඒ පළමු ප්‍රශ්නයට මං දීපු පිළිතුර භාග්‍යවතුන් වහන්සේ අනුමෝදන් වී වදාළා නේ. එතකොට ප්‍රිය ආයුෂ්මත්වරුනි, මට මේ විදිහට හිතුණා.
ඉදින් භාග්‍යවතුන් වහන්සේ දහවලක් පුරාවට වෙනස් වෙනස් කියුම් වලින්, වෙනස් වෙනස් ක්‍රමවලින් ඔය අර්ථය මගෙන් විමසනවා නම් ඒ දහවල පුරාවට ම මටත් වෙනස් වෙනස් කියුම්වලින්, වෙනස් වෙනස් ක්‍රමවලින් උත්තර දෙන්න පුළුවනි කියලා.
ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ රැයක් පුරාවට වෙනස් වෙනස් කියුම් වලින්, වෙනස් වෙනස් ක්‍රමවලින් ඔය අර්ථය මගෙන් විමසනවා නම් ඒ රැය පුරාවට ම මටත් වෙනස් වෙනස් කියුම්වලින්, වෙනස් වෙනස් ක්‍රමවලින් උත්තර දෙන්න පුළුවනි කියලා.
ඉදින් භාග්‍යවතුන් වහන්සේ රෑ දහවල් පුරාවට වෙනස් වෙනස් කියුම් වලින්, වෙනස් වෙනස් ක්‍රමවලින් ඔය අර්ථය මගෙන් විමසනවා නම් ඒ රෑ දහවල පුරාවට ම මටත් වෙනස් වෙනස් කියුම්වලින්, වෙනස් වෙනස් ක්‍රමවලින් උත්තර දෙන්න පුළුවනි කියලා.
ඉදින් භාග්‍යවතුන් වහන්සේ රෑ දහවල් දෙකක් පුරාවට වෙනස් වෙනස් කියුම් වලින්, වෙනස් වෙනස් ක්‍රමවලින් ඔය අර්ථය මගෙන් විමසනවා නම් ඒ රෑ දහවල දෙකක් පුරාවට ම මටත් වෙනස් වෙනස් කියුම්වලින්, වෙනස් වෙනස් ක්‍රමවලින් උත්තර දෙන්න පුළුවනි කියලා.
ඉදින් භාග්‍යවතුන් වහන්සේ රෑ දහවල් තුනක් පුරාවට ….(පෙ)…. රෑ දහවල් හතරක් පුරාවට ….(පෙ)…. රෑ දහවල් පහක් පුරාවට ….(පෙ)…. රෑ දහවල් හයක් පුරාවට ….(පෙ)…. රෑ දහවල් හතක් පුරාවට වෙනස් වෙනස් කියුම් වලින්, වෙනස් වෙනස් ක්‍රමවලින් ඔය අර්ථය මගෙන් විමසනවා නම් ඒ රෑ දහවල හතක් පුරාවටම මටත් වෙනස් වෙනස් කියුම්වලින්, වෙනස් වෙනස් ක්‍රමවලින් උත්තර දෙන්න පුළුවනි කියලා.”
එතකොට කළාරඛත්තිය භික්ෂුව අසුනෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණියා. ….(පෙ)…. එකත්පස්ව වාඩි වූ කළාරඛත්තිය භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙහෙම පැවසුවා.
“ස්වාමීනී, ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ විසින් සිංහනාදයක් නද දුන්නා. ‘ප්‍රිය ආයුෂ්මත්වරුනි, භාග්‍යවතුන් වහන්සේ මගෙන් අසා වදාළේ මං කලින් හිතුපු නැති ප්‍රශ්නයක්. ඉතින් ඒ වේලාවේ මට පොඩි පසුබෑමක් නම් ඇතිවුණා. නමුත් ප්‍රිය ආයුෂ්මත්වරුනි, ඒ පළමු ප්‍රශ්නයට මං දීපු පිළිතුර භාග්‍යවතුන් වහන්සේ අනුමෝදන් වී වදාළා නේ. එතකොට ප්‍රිය ආයුෂ්මත්වරුනි, මට මේ විදිහට හිතුණා.
ඉදින් භාග්‍යවතුන් වහන්සේ දහවලක් පුරාවට වෙනස් වෙනස් කියුම් වලින්, වෙනස් වෙනස් ක්‍රමවලින් ඔය අර්ථය මගෙන් විමසනවා නම් ඒ දහවල පුරාවටම මටත් වෙනස් වෙනස් කියුම්වලින්, වෙනස් වෙනස් ක්‍රමවලින් උත්තර දෙන්න පුළුවනි කියලා.
ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ රැයක් පුරාවට වෙනස් වෙනස් කියුම් වලින්, වෙනස් වෙනස් ක්‍රමවලින් ඔය අර්ථය මගෙන් විමසනවා නම් ඒ රැය පුරාවටම මටත් වෙනස් වෙනස් කියුම්වලින්, වෙනස් වෙනස් ක්‍රමවලින් උත්තර දෙන්න පුළුවනි කියලා.
ඉදින් භාග්‍යවතුන් වහන්සේ රෑ දහවල් පුරාවට වෙනස් වෙනස් කියුම් වලින්, වෙනස් වෙනස් ක්‍රමවලින් ඔය අර්ථය මගෙන් විමසනවා නම් ඒ රෑ දහවල පුරාවටම මටත් වෙනස් වෙනස් කියුම්වලින්, වෙනස් වෙනස් ක්‍රමවලින් උත්තර දෙන්න පුළුවනි කියලා.
ඉදින් භාග්‍යවතුන් වහන්සේ රෑ දහවල් දෙකක් පුරාවට වෙනස් වෙනස් කියුම් වලින්, වෙනස් වෙනස් ක්‍රමවලින් ඔය අර්ථය මගෙන් විමසනවා නම් ඒ රෑ දහවල දෙකක් පුරාවටම මටත් වෙනස් වෙනස් කියුම්වලින්, වෙනස් වෙනස් ක්‍රමවලින් උත්තර දෙන්න පුළුවනි කියලා.
ඉදින් භාග්‍යවතුන් වහන්සේ රෑ දහවල් තුනක් පුරාවට ….(පෙ)…. රෑ දහවල් හතරක් පුරාවට ….(පෙ)…. රෑ දහවල් පහක් පුරාවට ….(පෙ)…. රෑ දහවල් හයක් පුරාවට ….(පෙ)…. රෑ දහවල් හතක් පුරාවට වෙනස් වෙනස් කියුම් වලින්, වෙනස් වෙනස් ක්‍රමවලින් ඔය අර්ථය මගෙන් විමසනවා නම් ඒ රෑ දහවල හතක් පුරාවටම මටත් වෙනස් වෙනස් කියුම්වලින්, වෙනස් වෙනස් ක්‍රමවලින් උත්තර දෙන්න පුළුවනි කියලා.”
“පින්වත් භික්ෂුව, ඔය පින්වත් සාරිපුත්තයන් හට ඒ ධර්ම ස්වභාවය හොඳ හැටියට අවබෝධ වෙලයි තියෙන්නේ. යමෙක් තුළ ඒ ධර්ම ධාතුව මනාකොට අවබෝධ වෙලා තියෙනවද, අන්න ඒ නිසා දහවල පුරාවට පින්වත් සාරිපුත්තයන්ගෙන් ඔය කාරණය ගැන වෙනස් වෙනස් කියුම් වලින්, වෙනස් වෙනස් ක්‍රමවලින් ඔය අර්ථය මම විමසනවා නම්, ඒ දහවල පුරාවටම පින්වත් සාරිපුත්තයන් හටත් වෙනස් වෙනස් කියුම්වලින්, වෙනස් වෙනස් ක්‍රමවලින් උත්තර දෙන්න පුළුවනි.
රැයක් පුරාවට පින්වත් සාරිපුත්තයන්ගෙන් ඔය කාරණය ගැන වෙනස් වෙනස් කියුම් වලින්, වෙනස් වෙනස් ක්‍රමවලින් ඔය අර්ථය මම විමසනවා නම්, ඒ රැය පුරාවටම පින්වත් සාරිපුත්තයන් හටත් වෙනස් වෙනස් කියුම්වලින්, වෙනස් වෙනස් ක්‍රමවලින් උත්තර දෙන්න පුළුවනි.
රෑ දහවලක් පුරාවට පින්වත් සාරිපුත්තයන්ගෙන් ඔය කාරණය ගැන වෙනස් වෙනස් කියුම් වලින්, වෙනස් වෙනස් ක්‍රමවලින් ඔය අර්ථය මම විමසනවා නම්, ඒ රෑ දහවල පුරාවටම පින්වත් සාරිපුත්තයන් හටත් වෙනස් වෙනස් කියුම්වලින්, වෙනස් වෙනස් ක්‍රමවලින් උත්තර දෙන්න පුළුවනි.
රෑ දහවල් දෙකක් පුරාවට පින්වත් සාරිපුත්තයන්ගෙන් ඔය කාරණය ගැන වෙනස් වෙනස් කියුම් වලින්, වෙනස් වෙනස් ක්‍රමවලින් ඔය අර්ථය මම විමසනවා නම්, ඒ රෑ දහවල් දෙක පුරාවටම පින්වත් සාරිපුත්තයන් හටත් වෙනස් වෙනස් කියුම්වලින්, වෙනස් වෙනස් ක්‍රමවලින් උත්තර දෙන්න පුළුවනි.
රෑ දහවල් තුනක් පුරාවට ….(පෙ)…. රෑ දහවල් හතරක් පුරාවට ….(පෙ)…. රෑ දහවල් පහක් පුරාවට ….(පෙ)…. රෑ දහවල් හයක් පුරාවට ….(පෙ)…. රෑ දහවල් හතක් පුරාවට පින්වත් සාරිපුත්තයන්ගෙන් ඔය කාරණය ගැන වෙනස් වෙනස් කියුම් වලින්, වෙනස් වෙනස් ක්‍රමවලින් ඔය අර්ථය මම විමසනවා නම් ඒ රෑ දහවල් හත පුරාවටම පින්වත් සාරිපුත්තයන් හටත් වෙනස් වෙනස් කියුම්වලින්, වෙනස් වෙනස් ක්‍රමවලින් උත්තර දෙන්න පුළුවනි.”
සාදු! සාදු!! සාදු!!!
කළාර සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_1-4-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M