සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

1.12.10. උපාදාන සුත්තං

1.12.10. ග්‍රහණය වීම ගැන වදාළ දෙසුම

පින්වත් මහණෙනි, ග්‍රහණය වීම ඇති කරවන දේත්, ග්‍රහණය වීමත් ගැන කියා දෙන්නම්. එය සවන් යොමා අසන්න. පින්වත් මහණෙනි, ග්‍රහණය වීම ඇති කරවන දේ යනු කුමක්ද? ග්‍රහණය වීම යනු කුමක්ද?

පින්වත් මහණෙනි, ඇසෙන් දැනගත යුතු වූ සිත් ඇදගන්නා, ලස්සන, මනාප, ප්‍රිය ස්වරූප ඇති, කැමැත්ත ඇති කරවන, බැදීම් හට ගන්නා රූප තියෙනවා. පින්වත් මහණෙනි, මෙයට කියන්නේ ග්‍රහණය වීම ඇති කරවන දෙයක් කියලා. ඒ කෙරෙහි යම් ඡන්ද රාගයක් ඇත්නම්, ඒක තමයි එතැන තියෙන ග්‍රහණය වීම. පින්වත් මහණෙනි, කනෙන් දැනගත යුතු ශබ්ද තියෙනවා ….(පෙ)…. නාසයෙන් දැනගත යුතු ගන්ධ තියෙනවා ….(පෙ)…. දිවෙන් දැනගත යුතු රස ….(පෙ)…. කයෙන් දැනගත යුතු පහස ….(පෙ)…. මනසින් දැනගත යුතු වූ සිත් ඇදගන්නා, ලස්සන, මනාප, ප්‍රිය ස්වරූප ඇති, කැමැත්ත ඇති කරවන, බැදීම් හට ගන්නා අරමුණු තියෙනවා. පින්වත් මහණෙනි, මෙයට කියන්නේ ග්‍රහණය වීම ඇති කරවන දෙයක් කියලා. ඒ කෙරෙහි යම් ඡන්ද රාගයක් ඇත්නම්, ඒක තමයි එතැන තියෙන ග්‍රහණය වීම.

සාදු! සාදු!! සාදු!!!

උපාදාන සූත්‍රය නිමා විය.

දොළොස්වෙනි ලෝකකාමගුණ වර්ගය යි.

එහි පිළිවෙළ උද්දානය යි.

මාරපාස සූත්‍ර දෙකකි, ලෝකන්තගමන සූත්‍රය, කාමගුණ සූත්‍රය, සක්කපඤ්හ සූත්‍රය, පඤ්චසිඛපඤ්හ සූත්‍රය, සාරිපුත්තසද්ධිවිහාරික සූත්‍රය, රාහුලෝවාද සූත්‍රය, සඤ්ඤෝජන සූත්‍රය, උපාදාන සූත්‍රය යන මෙයින් මේ වර්ගය කියනු ලැබේ.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-12-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M