සැවැත් නුවර දී ……
පින්වත් මහණෙනි, යම් දහම් ක්‍රමයක් තුළට පැමිණුන භික්ෂුව ඇදහීමකින් තොරව, රුචියෙන් තොරව, ඇසීමකින් තොරව, කරුණු සැලකීමකින් තොරව, මතවාදයට බැස ගැනීමකින් තොරව, “ඉපදීම ක්ෂය වුණා, බඹසර වාසය සම්පූර්ණ කළා. නිවන පිණිස කළ යුත්ත කළා, නිවන පිණිස කළ යුතු වෙන දෙයක් නැතැයි අවබෝධයෙන් ම දන්නවා” කියා අරහත්වය පවසයි නම්, එබඳු ක්‍රමයක් තියෙනවාද?
ස්වාමීනී, අපගේ ධර්මය භාග්‍යවතුන් වහන්සේ මුල් කරගෙනයි පවතින්නේ. භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන කරගෙනයි පවතින්නේ. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කරගෙනයි පවතින්නේ. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේට ම ඔය වදාළ කරුණෙහි අරුත් වැටහෙන සේක් නම් ඉතා යහපති. එතකොට භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්ෂූන් මතකයේ රඳවා ගනීවි. එසේ වී නම් පින්වත් මහණෙනි, සවන් යොමා අසන්න. මනාකොට නුවණින් මෙනෙහි කරන්න. මා කියා දෙන්නම්. එසේය ස්වාමීනී, කියා ඒ භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මෙම දෙසුම වදාළා.
පින්වත් මහණෙනි, යම් දහම් ක්‍රමයක් තුළට පැමිණුන භික්ෂුව ඇදහීමකින් තොරව ….(පෙ)…. මතවාදයට බැස ගැනීමකින් තොරව, “ඉපදීම ක්ෂය වුණා, බඹසර වාසය සම්පූර්ණ කළා. නිවන පිණිස කළ යුත්ත කළා, නිවන පිණිස කළ යුතු වෙන දෙයක් නැතැයි අවබෝධයෙන් ම දන්නවා” කියා අරහත්වය පවසයි නම්, එබඳු ක්‍රමයක් තියෙනවා. පින්වත් මහණෙනි, යම් දහම් ක්‍රමයක් තුළට පැමිණුන භික්ෂුව ඇදහීමකින් තොරව ….(පෙ)…. මතවාදයට බැස ගැනීමකින් තොරව, “ඉපදීම ක්ෂය වුණා, බඹසර වාසය සම්පූර්ණ කළා. නිවන පිණිස කළ යුත්ත කළා, නිවන පිණිස කළ යුතු වෙන දෙයක් නැතැයි අවබෝධයෙන් ම දන්නවා” කියා අරහත්වය පවසයිද ඒ ක්‍රමය කුමක්ද?
පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව ඇසින් රූපයක් දැක්කට පස්සේ ඒ ගැන තමා තුළ රාග, ද්වේෂ, මෝහ තියෙනවා නම්, මා තුළ රාග, ද්වේෂ, මෝහ තියෙනවා කියලා දැනගන්නවා. තමා තුළ රාග, ද්වේෂ, මෝහ නැත්නම්, තමා තුළ රාග, ද්වේෂ, මෝහ නැති වගත් දැනගන්නවා. පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව ඇසින් රූපයක් දැක්කට පස්සේ ඒ ගැන තමා තුළ රාග, ද්වේෂ, මෝහ තියෙනවා නම්, මා තුළ රාග, ද්වේෂ, මෝහ තියෙනවා කියලා දැන ගැනීමත්, තමා තුළ රාග, ද්වේෂ, මෝහ නැත්නම්, මා තුළ රාග, ද්වේෂ, මෝහ නැති වගත් දැන ගැනීමත් යන යම් කරුණක් ඇද්ද, පින්වත් මහණෙනි, ඔය දේවල් දැනගත යුත්තේ ඇදහීමකින්ද? දැනගත යුත්තේ රුචියකින්ද? දැනගත යුත්තේ ඇසීමෙන් ද? දැනගත යුත්තේ කරුණු සැලකීමෙන් ද? දැනගත යුත්තේ මතවාදයට බැස ගැනීමෙන් ද? ස්වාමීනී, එය නොවේ ම ය. පින්වත් මහණෙනි, ඔය දේවල් දැනගත යුත්තේ ප්‍රඥාවෙන් දැකලා නො වෙයි ද? එසේය ස්වාමීනී.
පින්වත් මහණෙනි, යම් දහම් ක්‍රමයක් තුළට පැමිණුන භික්ෂුව ඇදහීමකින් තොරව ….(පෙ)…. මතවාදයට බැස ගැනීමකින් තොරව, “ඉපදීම ක්ෂය වුණා, බඹසර වාසය සම්පූර්ණ කළා. නිවන පිණිස කළ යුත්ත කළා, නිවන පිණිස කළ යුතු වෙන දෙයක් නැතැයි අවබෝධයෙන් ම දන්නවා” කියා අරහත්වය පවසයි නම්, ඒ ක්‍රමය නම් මෙයයි.
පින්වත් මහණෙනි, නැවත අනෙකක් පවසමි. භික්ෂුව කනෙන් ශබ්දයක් අහලා ….(පෙ)…. නාසයෙන් ගන්ධයක් දැනගෙන ….(පෙ)…. දිවෙන් රසයක් විඳලා ….(පෙ)…. කයෙන් පහසක් ලබලා ….(පෙ)…. පින්වත් මහණෙනි, නැවත අනෙකක් පවසමි. මෙහිලා භික්ෂුව මනසින් අරමුණක් සිතුවට පස්සේ ඒ ගැන තමා තුළ රාග, ද්වේෂ, මෝහ තියෙනවා නම් මා තුළ රාග, ද්වේෂ, මෝහ තියෙනවා කියලා දැනගන්නවා. තමා තුළ රාග, ද්වේෂ, මෝහ නැත්නම්, තමා තුළ රාග, ද්වේෂ, මෝහ නැති වගත් දැනගන්නවා. පින්වත් මහණෙනි, භික්ෂුව මනසින් අරමුණක් සිතුවට පස්සේ ඒ ගැන තමා තුළ රාග, ද්වේෂ, මෝහ තියෙනවා නම්, මා තුළ රාග, ද්වේෂ, මෝහ තියෙනවා කියලා දැන ගැනීමත්, තමා තුළ රාග, ද්වේෂ, මෝහ නැත්නම්, මා තුළ රාග, ද්වේෂ, මෝහ නැති වගත් දැන ගැනීමත් යන යම් කරුණක් ඇද්ද, පින්වත් මහණෙනි, ඔය දේවල් දැනගත යුත්තේ ඇදහීමකින් ද? ….(පෙ)…. දැනගත යුත්තේ මතවාදයට බැස ගැනීමෙන් ද? ස්වාමීනී, එය නොවේ ම ය. පින්වත් මහණෙනි, ඔය දේවල් දැනගත යුත්තේ ප්‍රඥාවෙන් දැකලා නො වෙයි ද? එසේය ස්වාමීනී.
පින්වත් මහණෙනි, යම් දහම් ක්‍රමයක් තුළට පැමිණුන භික්ෂුව ඇදහීමකින් තොරව, රුචියෙන් තොරව, ඇසීමකින් තොරව, කරුණු සැලකීමකින් තොරව, මතවාදයට බැස ගැනීමකින් තොරව, “ඉපදීම ක්ෂය වුණා, බඹසර වාසය සම්පූර්ණ කළා. නිවන පිණිස කළ යුත්ත කළා, නිවන පිණිස කළ යුතු වෙන දෙයක් නැතැයි අවබෝධයෙන් ම දන්නවා” කියා අරහත්වය පවසයි නම්, ඒ ක්‍රමය නම් මෙයයි.
සාදු! සාදු!! සාදු!!!
අත්ථිනුඛෝපරියාය සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-15-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M